ගිනිගහන මද්දහනේ පැල් කොටේ ඈදී ගෙන
තනිකමට කවි කිව්වේ උඹ හිතේ මවාගෙන
මේ තරම් බර ඇද්ද ජීවීතේ ඉම හොයාගෙන
තවත් මම ඉන්නවා නුඹ එතැයි සිතාගෙන…
වන සතුනේ අහල්ලා මට වෙච්ච හදිය
ජීවීතේ ඇය තමයි ලස්සනම නදිය
වර්ණනා මොන තරම් කරත් මට මදිය
ඒ තරම් ගුණ පිරුණු ඇයත් අද නිදිය…
අහුවෙච්ච හැමදේම අතට ඇය ගුලි කරන්
නිතරෝම එනවා ලස්සනට ගී කියන්
මේ දැනුත් දැනෙනවා උර හිසට හිස තියන්
මහන්සිද අහනවා ගිරව්නේ මේ බලන් …
පහු වෙච්ච අවුරුද්දේ බක් මහේ දවසක
කළුවළා වටවෙච්ච මූසලම හවසක
මැණික උඹ තනිවෙලා වන අරණේ මැදක
උලලේණී දුක කිව්වේ නෑනේ මට හනික…
කූරටියා පඳුරු ළඟ වැටීගෙන ඉද්දී
අඬ අඬා මම උඹව අත් දෙකට ගද්දී
හිරවෙච්චි දං ටිකක් එහේ මෙහෙට වෙද්දී
තනියෙන්ම කෑවා නම් තමයි හොඳ සුද්දී…
මෙල්ල නෑ තනි එකා කැලේටම ඉන්න
ආදරේ කොහොමදැයි ඌ මොනවා දන්න
හිතෙන්නැති ඌටත් මාව තනි කරන්න
මැණික දැන් හිතෙනවා නුඹ හොයන් එන්න…
නිෂා මදුරංගි
බ්‍රැන්ඩික්ස් මීරිගම