පොතක් කියන්නේ ලෝකයක්!

අවුරුද්දක වැදගත්ම මාසය විදියට සැලකෙන සැප්තැම්බර් මාසේ තමයි ලංකාවේ බොහෝ පොත් ලෝලීන්, කතුවරුන් පුන පුනා බලා සිටින මාසය. ඒ වෙන කිසිම දෙයක් නිසා නොවෙයි, සුවහසක් ජනතාව වැල නොකැඩී ඇදෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිසාවෙන්. පොතක් කියවීමෙන් අපි නොදත් විශාල දැනුම් ප්‍රමාණයක් ලබාගන්නට පුලුවන්. කියවීම මිනිසා සම්පූර්ණ කරන බව පැරැන්නන් කීවෙත් ඒ නිසාමයි.

ඉතින් කියවන්න හොඳම පොතක් තෝරගන්න කලින් අපි වැදගත් කරුණු කීපයක් සොයා බැලිය යුතු වෙනවා. ඔබ මීට පෙර පොත් කියවීම පුරුද්දක් කර නොගත් අයෙක් නම් මුලින්ම ඔබ කැමති වර්ගයක, එනම් හොල්මන් කතා, අබිරහස් කතා, ආදරය පිළිබඳ ලියවුණු කතා, පරිවර්තන කතා වැනි වර්ගවලින් එකක් ඔබේ කැමැත්ත මත තෝරාගෙන කියවන්න පටන් ගත්තොත් ඒක වඩාත් හොඳ වේවි. ඒ වගේම පොත් කියවන හැම කෙනෙක්ටම වැදගත් දෙයක් තමයි පොත් ගැන දැනුමක් උනන්දුවක් තියෙන කෙනෙක්ගෙන් උපදෙස් ගැනීම. ඒ විතරක් නෙවෙයි හොඳම පොතක් ලෙස සම්මාන උළෙලකදී නිර්දේශ වුණු, සම්මාන ලබාගත් පොතක් තෝරා ගැනීමත් ඔයාට කියවන්න හොඳ පොතක් වේවි. මොකද එය බොහෝ විට සෑම පාඨකයෙක්ටම ගැලපෙන ආකාරයේ පොතක් නිසයි. ඒ වගේම කියවීමේ උනන්දුව සහ ආසාව තිබෙන කෙනෙක්ට දැන් ෆේස්බුක්, වට්සැප් ගෲප්වලින්, වෙබ්අඩවි වලිනුත් කියවන්න හොඳ පොතක් ගැන තොරතුරු හොයා ගන්නත් අදහස් බෙදාගන්නත් හැකියාව තියෙනවා.

පොත් ප්‍රදර්ශනයකින් වගේම පොත් කඩවල්, ඔන්ලයින් පොත් විකුණන වෙබ් අඩවිවලිනුත් ඔයාට කැමති පොත් මිලට ගන්න පුලුවන්. ඒත් පොත් ප්‍රදර්ශනයක තියෙන වාසි තමයි වට්ටම් සහිතව පොත් ගන්න හැකියාව ලැබීම, පොත්වල කතෘවරු මුණගැහෙන්නට අවස්ථාව ලැබීම, තෝරාගන්නට පොත් විශාල ප්‍රමාණයක් තිබෙන නිසා කැමති විදියට පොත් තෝරගන්න හැකියාවක් ලැබීම වගේ දේවල් ඔයාට තියෙනවා. මේ ළඟ ළඟම එන පොත් ප්‍රදර්ශනය අතරේ මේ කරුණු කියවලා ඔයා කැමති පොතක් තෝරගන්න ඔයාට දැන් හොඳ දැනුමක් ලැබෙන්න ඇති. මතක තියා ගන්න පොතක් කියන්නේ අකුරු ලියපු පිටු ගොඩක් නෙවෙයි, මුලු ලෝකයක්!

Facebook
Facebook