නිම නොවන මව් සෙනේ

ළමැතුරේ හොවාගෙන- නුඹ දුන්න ආදරේ
ඇති තරම් සුව තිබුණු නුඹ උකුල් යහනතේ
දැඩි වෙද්දි ගත සවිය – මදි වුණා ඒ සෙනේ
සොයා සුව මම ගියේ දුර වැරදි මාවතේ

හිර වෙද්දි මගෙ දෙපා – රැහැන්වල නීතියේ
හැර ගියා ළඟ උන්න අය හිමින් සීරුවේ
කඳුලකින් තනිවෙච්ච – සිත හඬන යාමයේ
නුඹෙ දුබල ඇස් තිබුණා ළඟම සිර කූඩුවේ

මං එද්දි හිස් අතින් – සොයා යළි ජීවිතේ
නුඹ උන්නා දොර හැරන් – මහ ගෙදර පාඩුවේ
හොවා හිස මොහොතකට උකුල මත සැනසුවේ
පුතේ ඇයි බඩගිනි ද නුඹ ඇහුවා පා සෙනේ

බත් පිඬට අනා නුඹ දුන්න ඒ ආදරේ
දැනුනෙ නෑ කිසි දිනක මේ කල් ජීවිතේ
වැහැරින්ම අත්වලින් පිරිමදින හිස මගේ
අම්මේ නුඹෙ දෙපා ළඟ දැනුනා ලොව්තුරු සුවේ…

A.M. ස්වර්ණලතා
බ්‍රැන්ඩික්ස් මීරිගම 01

Facebook
Facebook