එය නගරයේ තිබූ ඉහල පන්නයේ අවන්හලකි. මෙයට නිතර යනු එනුයේ නවීන පන්නයේ ඇඳුම් ඇඳගත් ඉහල තරාතිරම්වලට අයිති ගැහැණු සහ පිරිමිය. ඇතැමෙක් පවුල් පරිසරයෙන්ම ධනවත් විය. ඇතැමුන් ඉහල රැකියාවක් කරන නිසා මුදල් යහමින් භාවිත කරන්නෝය. ඇතැමුන් ධනවතුන් ඇසුරු කිරීමේ අටියෙන්, ඔවුන් සමඟ හිතවත් වීමේ අටියෙන් එහි පැමිණියෝ වෙති. එවන් අය අතර අලුත්ම ගොසිප් එකක් දැනගන්නට එහි එන පත්තර කාරයන්, නවක නළු නිළියන් වගේම මේ නවීන සමාජයට අලුතින් එක්වූවෝද සිය තත්ත්වය පවත්වා ගැනීමේ අටියෙන් මෙහි වෙති. මේ සියල්ලෝම සති අන්තයේ සහ සිකුරාදා සවස මේ අවන්හලට ඇදෙන්නේ හුදෙක්ම කා බී විනෝද වන්නටම නොවේ. නොයෙක් වූ යටි අරමුණු ද ඇතුවයි. ඇතැම් පුරුෂයෙක් ගණිකාවන් ඇසුරු කිරීමේ අටියෙන් ද, ඇතැම් තරුණියන් මෙහි පැමිණීම තමන්ගේ උසස් බව ඉස්මතු වේය යන පුහු මාන්නයෙන් ද ස්වල්ප පිරිසක් සතුටු වී විනෝද වී සති අන්තය ගත කරන්නට ද පැමිණෙති.
මේ සියලු මුහුණු අතරේ, අවන්හලට නිතරම එන එක් හුරුබුහුටි තරුණයෙකි. ඇඳුමෙන් පැළඳුමෙන් ඔහු එම තැනට කිසිසේත්ම උචිත වන ආකාරයට නොපැමිණෙයි. කඩමාල්ලක් මෙන් පෙනෙන ශර්ටය ද, ඉරී දුර්වර්ණ වූ ඩෙනිම් කලිසම ද, අවුල් හිසකෙස් ද ඇති ඔහු, සෑම සිකුරාදාම එහි පැමිණෙයි. සෑම දිනකම එකම අසුනක හිඳ ගනී. ඔහු හඳුනන හෝ ඔහුව දන්නා හඳුනන කිසිවෙකුත් එම අවන්හලෙහි නැති හෙයින් අවශ්‍ය දෙයක් ඇනවුම් කර පැය හතර පහක් පමණම එහි රැඳී සිට ඔහු නික්ම යයි. ඔහුව දකින එම අවන්හලට එන පත්තරකාරයින්, තරුණියන් ලවා ඔහුව කතාවට ඈඳා ගැනීමට උත්සහ කළත්, එම සංවාදයන් සාර්ථක වූයේ නැතිය. ඉතාමත් ප්‍රිය මනාප තරුණියන් ඔහු වෙත ඇදී සරාගී ලීලාවෙන්,
– මේ.. ඔයා මොකද තනියෙන්.?
යනුවෙන් ඇසූ විට,
– නිකන්..
යනුවෙන් සීතල උත්තරයක් දෙයි. ඉන් නොසැලෙන අර තරුණිය,
– අද මම ගානෙ ඔයාට මොනා හරි අරන් දෙන්නද ? ම්ම්ම්ම්…
– නෑ එපා. මම බොන්නම්
යනුවෙන් පවසා ඇයට රැවුමක් පා කරනු ලබයි. ඉතින් ඉන් ඔවුන්ගේ සංවාදය අවසන් වෙයි. සිත රිදවා ගත් තරුණිය,
– අපෝ, එයා නම් හරියන්නෙ නෑ.
යනුවෙන් අන් අයට පවසයි.
ඉන් පසුව ඔහුව අමතක කර අන් සියල්ලෝ විනෝද වෙති. කති. බොති. නටති. මේ සියලු විකාර දෙස බලා සිටින ඔහු, විටෙක කට කොනෙකින් ඒවා දෙස බලා සිනාවෙයි. නමුත් කිසිවිටෙක එහි එන කිසිදු අමුත්තෙක් සමඟ කතා බහකට හෝ කුළුපග වන්නට යන්නේ නැත. නමුත්, දිනක් එක්තරා අඳුරු සිකුරාදාවක දහවල් සිටම හොඳින් හැඳ පැළැඳගත් මැදිවියේ කාන්තාවක් ඔහු හිඳ සිටින අසුනේ හිඳ කිසිවෙක් එන තෙක් මඟ බලමින් සිටිනු එහි සේවකයන්ට දකින්නට ලැබුණි. ඇය කලබලයෙන් මෙන් සිය අත් ඔරලෝසුව දෙසත් වටපිටත් බලනු දුටු එක් සේවකයෙක් ඇගෙන්,
– මැඩම්, කවුරු වෙනුවෙන් ද ඔබතුමිය බලාසිටින්නේ ?
යනුවෙන් ඇසුවේය. ඇය කරදරකාරී බැල්මකින් ඔහු දෙස බලා,
– නෑ, නිකන්
යනුවෙන් පිළිතුරු දුන්නාය.
අවසානයේ අර ගුප්ත තරුණයා එන වේලාව ආසන්න විය. සුපුරුදු පරිදි සිය අසුන වෙත පිය නැඟූ ඔහු, එහි සිටින පුද්ගලයා දැක තරමක් පුදුම විය. දෑසෙහි කඳුලු නැඟුණි. ඔහු හැඬුම් පාලනය කරගන්නට තනන බව දුටුවන්ට පෙනුණි. ඔහුව දුටු මැදිවියේ කත සිය අතින් මුව වසා පුදුමයට පත් හැඟීමෙන්, කාලෙකින් නොදුටු අයෙක් දුටුවිට දැනෙන සතුටින් ඉපිල ගිය හැසිරීමක් පෙන්නුම් කළාය. ඇය අසලටම ගිය තරුණයා,
– අම්මේ…
යනුවෙන් ඇමතීය. කාන්තාව මහ හඬින් හඬන්නට පටන් ගත්තාය. මේ දුටු එහි සිටින අමුත්තන් වැඩ නවත්වා ඔවුන් දෙස බලා හිඳින්නට විය. තරුණයා, ඇගේ දෙපා වැඳ,
– අම්මේ ඔයා එනකම් මම හැමදාමත් මෙතන හිටියා. ඇයි ආවෙ නැත්තේ..
යනුවෙන් ඇසීය. කාන්තාව තවත් මුණිවත රකිමින් ඔහුව බදාගෙන සතුටු කඳුලු වගුරුවමින් සිටියාය. ස්වල්ප වේලාවක් ඔහු හා කතා බස් කරමින් සිටි ඇය,
– පුතා, මම හැමෝටම හොරෙන් ආවෙ ඔයාව බලන්න. මම ඉක්මනට යන්නම්.
යනුවෙන් පවසා ඔහුට සමු දී නික්ම ගියාය.
එදින රෑ වනතුරු අවන්හලෙහි මත්පැන් පානය කර බීමත්ව සිටි ඔහු, ඔහුට සැමදා සංග්‍රහ කරන වේටර්වරයාට සිය කතාව පැවසුවේය. නමුත් එදායින් පසු ඉඳහිටෙකවත් ඒ හුරුබුහුටි තරුණයා ඒ අවන්හල වෙත නැවත පැමිණියේ නැත. ඔහුගේ කතාව අසා සිටි වේටර්වරයා පසු කලෙක අනෙක් අයට පවසා සිටියේ, ඔහු අනාථ දරුවෙක් බවත්, ඔහුගේ මව කලකට පෙර මේ අවන්හලට පැමිණි සුරූපී තරුණියක් බවත්, ඇයට ඔහුව බිහිවෙන විට ඇය විවාහ වී නොසිටි බවත් ය. අද වනතුරුත් කිසිදා කිසිවෙකුටත් අවධානය යොමු නොවූ දෙයක් වූයේ, ඒ තරුණයාගේත්, අවන්හලෙහි පසෙක එල්ලා තිබූ ඡායාරූපයේ සිටින එහි හිමිකරුගේත් ඇති නිල්වන් දෑස් සර්වසම බවයි. හිසකෙස් සහ මුහුණෙහි හැඩයද එකම ආකාර බවයි. නිතර එහි එන ගොසිප් හොයන පත්තරකරුවන්ටත්, ඕපාදූප සොයන ගැහැණුන්ටත් හොර රහසේම වසන් වූ වටිනා ඕපාදූපයක් මේ ලෙස වසන් වී ගොස් තිබුණා.