ඔයා පොඩි කාලේ, එහෙම නැත්නම් තරුණ වයසේදී ඔයාගේ කොට්ටයට එහා පැත්තෙන් මෙට්ටය උඩින් ඩයරියක් එහෙම නැත්නම් දිනපොතක් තියාගෙන නැද්ද? ඔයා ඒ දිනපොතේ ඔයාගේ දවස ගෙවුණ විදිය ලිව්වා, ඔයා සතුටු වුණු දේවල්, දුක හිතුණු සිදුවීම් මේ සියල්ල ඔයාගේ දිනපොතේ ඔයා කුරුටුගාන්න ඇති. ඒක දවසේ ආරම්භය, දවස ඇතුලේ සිදුවූ දේවල්, දවසේ අවසානය ඔබ විසින් පාපෝච්චාරණය කරනවා වගේ දෙයක්. මේ දිනපොත ඔබ ලියන කාලයේ දී ඔබේ සියලු සිතුවිලි, හැඟීම්, ඔයාට දැනෙන සියල්ල ඔලුවෙන් ඉවත් කර ඒ හිස් කඩදාසිය මත අකුරු කර තැබීම ඔයාට මහත් සතුටක් ඇති කරන්නට ඇති. ඒ වගේම මේ කාලයේදී, ඔයාගේ අවට ලෝකය වඩාත් පැහැදිලිව ඔයාට පේන්න තිබෙන්න ඇති. දැන් ඔයා වැඩිහිටියෙක්. දැන් ඔයා ඒ දිනපොත ලියනවා ද? සමහරවිට ඔයා දැන් ඒ දිනපොත ලියන එක නතර කරලත් ඇති. නමුත් ඔයා දන්නවාද ? ඒ දිනපොත ලියන කාලයේදී ඔයා අත්පත් කරගත්තු ප්රතිලාභ තවමත් ඔයාට ළඟා කරගන්න පුළුවන් කියලා. වැඩිහිටියෙකු ලෙසට අද අපි ජීවත් වුවත් එය අපේ ජීවිතවලට අදාළ වෙනවා.
ඉස්සර අපි ඩයරියක් ලියනවා කිව්වට දැන් ඒකට අපි කියන්නේ “ජර්නල්” කරනවා කියලා. ඔයාගෙ සිතුවිලි, හැඟීම් වඩාත් පැහැදිලිව තේරුම්ගෙන ලිවීමක් තමයි මේ මඟින් සිදුවෙන්නේ. විශේෂයෙන්ම ඔයා මානසික ආතතිය, කාංසාව හෝ මානසික අවපීඩනය වගේ මානසික අක්රමතාවලින් පොරබදමින් නම් ඉන්නේ, ඔයා දිනපොතක් තබාගැනීම හොඳ අදහසක් වෙනවා. මෙසේ ජර්නල් කිරීම ඔයාගේ මානසික සෞඛ්‍ය වැඩිදියුණු කරගැනීමට වගේම හැඟීම් පාලනය කරගැනීමටත් ගොඩක් උදව් වෙනවා. ඕනෑම ප්‍රබල හැඟීමක්, චිත්තවේගයක් එක්ක කටයුතු කිරීමට ඇති එක් ක්‍රමයක් වන්නේ එය ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක් තිබීමයි. මේ දේ ඔයාගේ මානසික සෞඛ්‍ය කළමනාකරණය කිරීම සඳහා “ජර්නලයක්” ප්‍රයෝජනවත් මෙවලමක් කරගැනීමට ද ඔයා අමතක කරන්න එපා. ඔයා ගැටලුවක ඉන්නවා නම්, ආතතියට පත්වී ඉන්නවා නම්, ජර්නලයක් තබාගැනීමෙන් ඒ ගැටලුවට හේතුව, ආතතියට පත් වූ හේතුව මොකද්ද යන්න හදුනාගන්න ඔයාට උදව් කරයි. ඔයා හැමදාම ඔයා ගැන ලියන්න. එය කඩදාසියක්ම වෙන්න ඕනේ නැහැ. ඔයාගේ ජංගම දුරකතනයේ වුවද ඔයාගේ අදහස් ඔයාට දැනෙන දේ ගැන ජර්නල් කරන්න පුලුවන්. හරි හෝ වැරදි කියලා දෙයක් නැහැ. ඔයාට හරි කියලා හිතෙන ඕනෑම දෙයක් ලියන්න. නැතිනම්, එය ඔයාට හැකි ලෙස චිත්‍රයක් හෝ අදින්න පුලුවන්. ජර්නල් කිරීමක් කියන්නේ ඔයාට දැනෙන ඕනෑම හැඟීමක්, ඕනෑම දෙයක් සාකච්ඡා කිරීමට තියෙන පෞද්ගලික ස්ථානයක් වගේ තැනක්. එතනදී, ඔයාගේ අදහස් නිදහසේ ගලා ඒමට ඉඩදෙන්න. වචන ගැන, අකුරු ගැන , අනිත් අය හිතන දේ ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ. ඔයාට සුදුසුයි කියලා හිතෙන, පෙනෙන විදියට ඔයාගේ ජර්නලය ඔයා නිර්මාණය කරන්න. ඔයාගේ දිනපොත කිසිවෙකු සමග බෙදා ගැනීමට අවශ්‍ය නැහැ. ඔයාගේ ලෝකය අවුල් සහගතයි කියලා හැඟෙන විටදී, ඔයාගේ ජීවිතය පිළිවෙළකට නිර්මාණය කිරීමට ජර්නලය ඔයාට උදව් කරයි. ඔයාට තියෙන පෞද්ගලික බය, සිතුවිලි සහ හැඟීම් හෙළි කිරීමෙන් ඔයා ඔයාව හඳුනාගන්න පටන් ගන්නවා. ඔයාගේ ලිවීම, ඔයාගේ පෞද්ගලික විවේක කාලය මෙන් සලකන්න. ඒක ඔයාගේ මානසික ආතතිය නැති කරගත හැකි කාලයකි.
ඉදිරි වසරේ ඔයා වෙනස් කෙනෙක් ලෙස ජීවිතය අරඹන්න. ඔයා, ඔයා ගැන ඔයාගේ මානසික සෞඛ්‍ය සුවතාවය, ඔයාගේ හැඟීම්වලට, ඔයාගේ සිතුවිලිවලට පොඩි වේලාවක් ලබාදී ජර්නල් කිරීමට හුරුවෙන්න. මේ දේ කිරීම තුළින් ඔයාගේ මනසටත්, ශරීරයටත් යහපතක්ම ලබාදෙනවා. අපි එහෙනම්, වෙනසකින් වෙනස් වෙමු.
ජයනි මධුමාලි
මනෝ උපදේශිකා