මී මැස්සාගෙන් පණිවිඩයක්!

මේ ලෝකයේ පැවැත්මට සුවිශේෂීම දායකත්වයක් දක්වන සතෙක් විදියට සලකන මී මැස්සාගෙන් මිනිස්සුන්ට ගන්න පුලුවන් දේවල් බොහොමයි. මෙවර ලොකු අක්කා ලිපි මාලාවේ එක් කොටසක් මේ අපූරු ජීවියා ගැන වෙන් කරන්න අදහස් කළා.

ශාක පරාගනයේ සුවිශාල කාර්යයක් ඉටු කරන්නා වූ මේ අපූරු සත්වයා නිසා ලෝකයේ ආහාර නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලැබෙනවා. කෙටියෙන්ම කිව්වොත් අපේ ආහාර නිෂ්පාදනයේ අඩු වැඩි බව තීරණය කරන්නේ මෙයාලයි. මේ මී මැස්සන් ලෝකයෙන් නැති වෙලා ගියොත් ලොකුම බලපෑමක් මිනිසුන්ටත් අත්වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. ජනපදයක් ලෙස ජීවත් වෙන මේ වටිනා අහිංසක ජීවියාගේ ජීවිත කාලයම කැප වෙන්නේ මල් පැණි එකතු කිරීම, තම පැටවුන් රැක බලා ගැනීම, තමන්ගේ මී මැසි ජනපදය ආරක්ෂා කිරීම වගේ කාර්යයන්වලින්. ඒ ඒ මී මැසි වර්ගවලට වෙන් වූ කාර්යයන් එකාවන්ව එකමුතුව ඉටු කිරීම මේ අපූරු සතුන්ගේ විශේෂ ගුණාංගයක්. එහි අරමුණ තමන්ගේ ජනපදය ආරක්ෂා කරගෙන පවත්වා ගැනීම. මෙයින් අපිට ගන්න පුලුවන් වටිනාම දෙයත් එයයි. තම තමන්ට පැවරුණු කාර්යයන් වගකීමෙන් යුතුව උනන්දුවෙන්, කණ්ඩායම් හැඟීමෙන් ඉටු කිරීම. එයින් ඔබේ නිවසට විතරක් නෙවෙයි සේවය කරන ආයතනයේත් පැවැත්ම තීරණය වෙනවා. ඒ වගේම සංවිධානාත්මක බවත් මී මැස්සන් සතුව නිරන්තරයෙන් තිබෙනවා. ඒ මී මැසි රජදහනේ රජ මැස්සිය, සේවිකා මැස්සියන්, පිරිමි මී මැස්සන් වැනි ඒ ඒ කාර්යයන් සඳහා වෙන වෙනම පුහුණු කළ පිරිසක් විදියටයි ඔවුන් ඉතාමත් කාර්යක්ෂමව තමන්ට පැවරුණු වැඩ ඉටු කරනවා. මේ විදියට අපිටත් අපේ ඕනෙම වැඩක් කරද්දී ඒ ඒ කෙනාට ගැලපෙන විදියට බෙදලා දීලා නිසි වගකීමෙන් ඒ වැඩේ ඉටු කරගන්න පුලුවන්. ඒ වගේම කාලගුණයේ වන අසම තත්ත්වයන් වලදීත්, විවිධ සර්පයින්, වලසුන් වගේ සතුරන්ගෙනුත් කරදර විඳින මේ අපූරු මී මැස්සන් තමන්ගේ ජනපදය ආරක්ෂා කර ගැනීමට දිවි දෙවෙනි කොට සලකා එකාවන්ව කටයුතු කරනු ලබනවා. මෙය අපිටත් අපේ ජීවිතයට ගන්න පුලුවන් පණිවිඩයක්. තමන්ගේ පවුල, රැකියා ස්ථානය රැක ගන්නට එකාවන්ව දිවි දෙවෙනි කොට කැපවීම සැමදෙනාගේම යහපතට හේතුවක් වනවා.

Facebook
Facebook