
නෙත් යුගල නිලුපුල් සේය
කෙස්රොදද ඝන නිල් පැහැය
වත්සුනුද පෑ රත් පැහැය
මියුලැසිය ඈ පින්සාර
ඇගේ ඇස් නිල්මිණි කැට වලටත්, තොල් පෙති නාදළු වලටත්, සමාන කරමින් බොහෝ කවි ගී සින්දු ලියවෙන්නට ඇත. ඇය හා සමාන නොවූ මලක් නොමැති තරමටම මල් වලට උපමා වූ අවස්ථාවන්ද බොහෝය. කවියෙන් කලාවෙන් එලෙසින් වර්ණනයට ලක් වූ ඇය, ස්වභාවදහමේ අපූර්වතම නිර්මාණය වනවාට නම් සැකයක් නොමැත. මෘදු, සියුම් සහ සිත් ඇදගන්නාසුළු, මල් මෙන් පියකරු ලෙස කලාකාමීන්ගේ ඇසින් දුටු ඇය සැබවින්ම එතරම් සියුමැලිද? කාන්තාවන් සැමවිටම මල් තරම් මෘදු නොවූවද, එයින් කියැවෙන අර්ථය ගැඹුරින් සිතන විට මෙම පෘථිවිය තුළ සතුන් මෙන්ම මිනිසුන්ගේ ද ජීවය රැදී ඇත්තේ මලක් විසින් කරන ලද කුඩා දෙයක් නිසා බව තේරුම් ගත හැකිය. මලක සැබෑ වැදගත්කම ගැන සිතන විට, එය පරාගණය සහ බීජ නිෂ්පාදනය කරමින්, පරිසර පද්ධතිවලට ජීවය ලබා දෙමින් මිහිතලයටම පවතින්නට හුස්ම ලබා දෙයි. ඉතින් මලක නිහඬ සේවය නොතිබෙන්නට, අපගේ ලෝකය බිඳ වැටෙනු ඇත. ඒ හා සමානව කාන්තාවද, නිහඩ වූ සේවයක් ඉටු කරමින් ඔබේත් මගේත් ලෝකයට ජීවය ලබා දෙයි. දිදුළමින් ලොවක් දිදුළවන්නට ප්‍රාණය ලබා දෙයි. දහසකුත් වේදනාවන් විද දරාගනිමින් මවගේ උත්තරීතර චරිතයට පණ පොවයි. ඇය බිළිඳිය, ළදැරිය, තරුණිය, පෙම්වතිය, යෙහෙළිය, සහෝදරිය, බිරිඳ, මව සහ මිත්තනිය ආදී වූ චරිත රැසකින් ඔබ මා අසලම ජීවත් වෙයි. ඉතින් සෑම වසරකම මාර්තු මස 8 වන දින වෙන්වන්නේ ලොවක් දිදුළවන ඇය වෙනුවෙන්මය.
අපගේ ජීවන රටාව තුළ නිවසේ මූලිකත්වය දරන්නේ පුරුෂයාය. කුරුල්ලෙකු තම කූඩුව සෑදූ පසුව, කිරිල්ලිය විසින් පුළුන් දමා එය සුන්දර කැදැල්ලක් බවට පත් කරන ආකාරයටම නිවස දුක සතුට බෙදාහදා ගන්නා, සිත නිවන තැනක් කිරීමට නම් කාන්තාව සැබවින්ම අත්‍යාවශ්‍ය ය. අද වන විට ලෝකයේ සෑම ක්ෂේත්රයකම කාන්තාව ඉදිරියට පියනගමින් සිටී. මිනිස් වර්ගයා වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටුකරන කාන්තාව තමාගේ වටිනාකම් අවබෝධ කර ගැනීම මෙන්ම, වටිනාකම් තව තවත් ඔප්නැංවීම නම් තමාගේ කායික, මානසික සුව සහනය ගැන ප්‍රථමයෙන් විමසා බැලිය යුතුය. කාන්තාව ශාරීරිකව මානසිකව නීරෝගී වන තරමට මානව වර්ගයාගේ පැවැත්ම රැඳී පවතී. නිසි පෝෂණය, ව්‍යායාම සහ නිතිපතා වෛද්‍ය පරීක්ෂණ හරහා ශාරීරික යහපැවැත්මට මුල්තැන දීම ඉතා වැදගත් වේ. එමෙන්ම සමබර ආහාර වේලක් අනුභව කිරීම, ශක්ති මට්ටම් පවත්වා ගැනීමට සහ නිදන්ගත රෝග වළක්වා ගැනීමට උපකාරී වේ. යෝග, ව්‍යයාම කිරීම ආදී ශාරීරික ක්‍රියාකාරකම් කාතාවගේ සමස්ත යහපැවැත්ම වැඩි දියුණු කිරීමට ඉමහත් දායකත්වයක් ලබා දෙයි. එමෙන්ම, මානසික හා චිත්තවේගීය සෞඛ්‍යය පෝෂණය කිරීම ද ඉතා වැදගත් වෙයි. තමා වෙනුවෙන් සිතන්නට, තමාගේ හැකියා සහ දුර්වලතා හඳුනාගැනීමට දිනකට කුඩා කාලයක් වෙන් කිරීම, සිත සන්සුන් කරවන අභ්‍යාස පුහුණු කිරීම සහ සතුට ගෙන දෙන විනෝදාංශවල යෙදීම මනස ශක්තිමත්ව සහ ස්ථාවරව පවත්වා ගැනීමට උපකාරී වේ. එමෙන්ම අවශ්‍ය විටෙක සහය හෝ උපදේශනය ලබා ගැනීම කිසි විටෙකත් දුර්වලතාවයක් ලෙස නොසිතිය යුතු අතර එය තමා මෙන්ම පවුලේ රැකවරණය සඳහා සඳහා වඩාත් වැදගත් වෙයි. අනවශ්‍ය ලෙස ආතතිය ඇති කරන දේ වලින් ඉවත් වීම ද ඇගේත් සමස්ත සමාජයේත් මානසික යහපැවැත්ම සඳහා ඉතා වැදගත් වේ.
සෙනෙහෙබර නිවහනක සැනසීමේ උල්පත වන්නේ ද කාන්තා චරිතයයි. පවුල තුළ සතුට සහ සමඟිය පවත්වා ගැනීමටද මෙය වඩාත් වැදගත් වෙයි. සෑම මිනිසෙකුටම විශ්වාසයෙන් යුතුව තමන් තේරුම් ගන්නා සහ තමන්ට සවදෙන්නෙකු අවශ්‍ය වන අතර එය බැඳීම් ශක්තිමත් කිරීමටද උපකාරී වෙයි. බොහෝවිට නිවස තුළ දරුවන් හට මෙන්ම, ස්වාමියා හටද අවැසි ශක්තිය ලබා දෙමින්, ඔවුන් මුහුණ දෙන ගැටලු අභියෝග වලට මුහුණ දෙන්නට අවැසි ජීවගුණය ලබා දෙන්නේ ද කාන්තාවයි. ඉතින් අප කාන්තාවන් ලෙස අන් සිත් තේරුම් ගැනීම සහ ඉවසීම ප්‍රගුණ කිරීම තුළින් ඵලදායී සන්නිවේදනය කුසලතා වර්ධනය කර ගැනීමද වඩා වැදගත් වෙයි. තම ආත්ම ගෞරවය පවත්වා ගනිමින් තමාගේ වටිනාකම් සහ ගුණාංග ප්‍රගුණ කරමින්, ශක්තිය, නොපසුබට උත්සාහය සහ ආදරය ගැන ඊළඟ පරම්පරාවට උගන්වන්නා වූ ගුරුවරිය ඇයයි. ඇය, බලාපොරොත්තුවේ ආලෝකය සහ අපගේ පැවැත්මේ හදවතයි. මේ මිහිමත ඉර හඳෙන්, ගහකොලින්, ඇළ දොළින් ජනිත වූ පුෂ්පය ලොවම සුවඳවත් කරමින් ලෝකයට ජීවය ලබා දෙන්නේ යම් සේද, ස්ත්‍රිය සැමවිටම දිදුළමින් ලොවට දිදුළන්නට ලබා දෙන්නා වූ ආලෝකය අතිශයින්ම අපරිමේය වන්නේය.
ගීතාංජලී විජේකෝන්
මනෝ උපදේශිකා