වියමනින් ලොවම දිනනා ප්‍රබෝධයේ වීරවරියෝ

වීරවරියන් සිටින්නේත්, වීරවරියන් බිහි වන්නේත් අප අතරින්මයි. තමන්ගේ ජීවන ගමනේ නව ඉසව් සොයා යමින්, දිරියෙන් ජීවිතය ජය ගන්නා කාන්තාවන් සැබෑම වීරවරියන් වෙනවා. බ්‍රැන්ඩික්ස් සමූහයේ සිටින්නේ ද එවන් වීරවරියන් රැසක්. මෙවර කාන්තා දිනයේ අපේ තේමාව වන Powered by Inspiration යටතේ අපේ දහස් ගණනක් වූ කාන්තා වීරවරියන්ව සමරන්න අපි හිතුවා.

බ්‍රැන්ඩික්ස් අපගේ කාර්ය මණ්ඩලයෙන් 80%ක්ම සිටින්නේ කාන්තාවන්. ඔවුන් අතර සිටින්නේ මැහුමෙහි, ගෙතුමෙහි විශිෂ්ටයින් විතරක්ම නෙමෙයි. කවි පබැඳුමෙහි, ගායනයෙහි, නර්තනයෙහි, නිවේදනයෙහි දස්කම් පෙන්වන කාන්තාවන් වගේම ඕනෑම අසීරු අවස්ථාවකට මුහුණ දෙමින් අධිෂ්ඨානයෙන් ජයග්‍රහණය කරා යන කාන්තාවන් ඇතුළු විශාල පරාසයක දස්කම් තිබෙන කාන්තාවන් පිරිසක් බ්‍රැන්ඩික්ස් සමූහයේ රාජකාරි කරනවා. ඔවුන්ගේ විශිෂ්ටත්වය බ්‍රැන්ඩික්ස් අපේ විශිෂ්ටත්වයට ද ලොකු හේතුවක්.

කාන්තාවක් වීම රැකියාවේ එක් තැනකට කොටු වීමට හේතුවක් නොවන බව ඔප්පු කරමින් ඔවුන් සිය රාජකාරි උපරිමයෙන් සිදු කරනවා. දක්ෂ කාර්මික ශිල්පිනියන් වගේම යන්ත්‍ර ක්‍රියාකාරිනියන් ද අප ආයතනවල සිය දස්කම් පෙන්වමින් අභිමානවත් ලෙස රාජකාරියේ නිරත වන්නේ ඒ නිසයි. දියණියක්, සොයුරියක්, පෙම්වතියක්, බිරිඳක්, මවක් ලෙස විවිධ භූමිකාවන් ඉටු කරන ඇය ඒ සියල්ල ද සාර්ථකව සිදු කරන්නේ ඔවුන් තුළ වන දිරිය, ශක්තිය නිසාමයි.

සමාජයටම ආදර්ශයක් දෙමින් රන් දෑතින් ලොව පුබුදනා ඇය රටේ ආර්ථිකයට දෙන ශක්තිය ඉතා ඉහළයි. වියමනින් ලොවක් පුබුදනා සොහොයුරියනි, ජීවිත ගමනේ සියලු කඩඉම් සාර්ථකව ජය ගන්නට ඔබ සැමට හැකි වේවායි වියමන් අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා!