අම්මෙක්ට තුරුළු වී නිදන්නට සුවසේ
කරපු පිං මදි නිසා ඉතිං පෙර සසරේ
අම්මෙක්ව අහිමි වී ගියායින් පස්සේ
දරුවෙක්‍ට කවුරුත් නෑ මිනිස් කතරේ
වළං ටික හෝදපන් කියා ටොකු අනිද්දී
ගිනි අඟුරු පුච්චමින් මාව ළං කරද්දී
ඇත්තමයි අම්මෙ මට හිතුණා දුක් විඳිද්දී
අම්මා ඇයි මං දාලා ගියේ මං අඬද්දී
කේළමක් නෙවෙයි මං තාත්තට කිව්වා
මුළු ඇඟම රිදෙනවා කුඩම්මා ගහලා
හිතුවෙ මං තාත්තවත් ගනියි මං ඉඹලා
තාත්තත් නැගිට ගියේ මට දෙකක් ගහලා
නංගිට නම් ගේනවා කඩචෝරු නිතරම
කිසි දෙයක් දෙන්නේ නෑ උඹ යමං අහකට
හෙට උදෙත් නැගිටපං ගුටි නොකා හතරට
හැමදාම ඔය අණයි දැම්මේ මම බිල්ලට
පාන්දර නැගිටලා පොල් ටිකක් ගාලා
වළං ටික හෝදලා මැස්ස උඩ නවලා
ගේ මිදුල අතු ගාලා කුණු අරං දාලා
ඉස්කෝලෙ යන්නෙ මං හතයි තිහ පැනලා
ඉස්කෝලේ ටීචලා නිතරෝම අහනවා
ඇයි පුතේ ඇස් දෙකම ඔය තරම් ඉදිමිලා
අම්මෙ මම හැමදේම කියන්නද අඬලා
ඔයා ඇයි එකපාර ගියේ මා මරලා
කොයි තරම් ගැහුවත් ඇඬුවෙ නෑ ඇහෙන්න
දරාගෙන හිටියෙ මං අම්මා වගේ හැදෙන්න
අම්මෙ මට බෑ ඒත් තවත් දුක් විඳින්න
යනවා මං පොලීසියෙ මාමලට කියන්න
මම ගිහින් කිව්වොත් මට වෙච්ච හැමදේම
පොලීසියෙ මාමලා ගනීද මගේ පැත්ත
එක දෙයක් වද දෙනවා ඒ හින්දා ඉවසමුද
මට වගෙම නංගිටත් අම්මෙක්ව නැති වෙයිද?
H.H. නීෂා මධුරංගි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය