සතුට සහ නිදහස රැකගන්න

තව කෙනෙක්ගේ වචන නිසා කවදාහරි දවසක හිත රිදිලා තියෙනවද? එහෙනම් මේ කතාව ඔයා වෙනුවෙන්..

අපිට ජීවිතේ විවිධාකාර මිනිස්සු හම්බවෙනවා. ඒ හැම කෙනෙක්ම එකිනෙකාට වෙනස්. මේ වෙනස් මිනිස්සු ඒ ඒ අයට  ඕන විදිහට ඔයාව දකිනවා, ඔයා ගැන කතා කියනවා. ඒ දකින විදිහවත් කියන කතාවත් ඔයාට නතර කරන්න බැහැ. ඒ කියන කතා වගේම ඔයාව දකින විදිහ නිසා ඔයාට දුක හිතුන අවස්ථා ඕන තරම් ඇති. අනේ ඇයි මට මෙහෙම කියන්නේ, ඇයි මිනිස්සු මම ගැන මෙහෙම හිතන්නේ කියලා දුක් වුණ අවස්ථා ඕන තරම් ඔයාගේ ජීවිතේ ඇති.

මතක තියාගන්න. මේ ලෝකේ ඔයාගේ  කතාව ඔයා  තරම් දන්න කිසිම කෙනෙක් නැහැ.හැම කෙනෙක් එක්කම හිනා වෙලා හිටියට බැදීම් එක්ක, වගකීම් එක්ක හිරවෙලා අමාරුවෙන් ගෙවන ජීවිතේ තව කෙනෙක්ට දැනෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔයා තව කෙනෙක් එක්ක ඔයාගේ  කතාව කිව්වත් ඒ කතාව ඒ කෙනා තේරුම් අරන් ඇත්තේ එයාට ඕන විදිහට විතරක් වෙන්න ඇති. ඒ නිසා ඔයාගේ කතාව දන්නෙත් දැනෙන්නෙත් ඔයාටම විතරයි. තව කෙනෙක් 100%ක් ඔයාව තේරුම් ගනී කියලා ඔයා හිතනවා නම් ඒකෙන් වෙන්නේ ඔයා තව තවත් වේදනාවට පත් වෙන එක විතරමයි. ඒ නිසා තව කෙනෙක් ඔයා ගැන හිතන විදිහ, තව කෙනෙක් ඔයාව දකින විදිහ ඔයා ගැන කියන වචනවලට අවධානය දෙන්නේ නැතිව ඔයා ගැන ඔයා හිතන්න පටන් ගන්න. ඔයාගේ සතුට සැනසුම් තව කෙනෙක්ගේ වචන නිසා කිසිම දවසක නැති කරගන්න එපා.

හැම කතාවකින්ම වැදගත් දේවල් විතරක් ජීවිතයට එකතු කර ගන්න. වෙනස් වෙන්න ඕන තැන් වලදි වෙනස් වෙන්න. ඔයා ගැන තව කෙනෙක්  කියන හැම දුක හිතෙන  කතාවකටම  හිනාවකින් පිළිතුරු දෙන්න පුලුවන් විදිහට මනස පුරුදු පුහුණු කර ගන්න. නිදහසේ ඔයාගේ ගමන් යන්න පටන් ගන්න.

රුවනි ජයලත්
මනෝ උපදේශිකා
බ්‍රැන්ඩික්ස් කොග්ගල

Facebook
Facebook