රසදිය කුසලානයේ විජයග්‍රාහී දිනය

බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් මාස ගණනාවක සිට උනන්දුවෙන් බලාසිටි රසදිය කුසලාන වොලිබෝල් තරඟාවලියේ අවසානය පසුගියදා ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්වූවා. එහිදී
තරුණ බලය ජවය උද්‍යෝගය වඩාත් මැනවින් දැකබලා ගන්නට අපට හැකියාව ලැබුණා. නොසන්සිඳෙන උනන්දුවත්, අතිමහත් කැපවීමුත් කළ, ඊට නොදෙවෙනි හැකියාවෙනුත් සපිරි වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින කණ්ඩායම් 25ක් බ්‍රැන්ඩික්ස් සමූහය නියෝජනය කරමින් එදින තරඟ වැදුණා.

පසුගියදා උදෑසනින්ම මහරගම තරුණ සේවා සභා පිටියෙන් ඇරඹුණු බ්‍රැන්ඩික්ස් රසදිය කුසලාන අවසන් මහා තරඟාවලිය සවස 3 පමණ වනවිට එහි කූඨප්‍රාප්තිය වෙත ළඟා වෙමින් අවසන් කණ්ඩායම් ද්විත්වයේ ද්වන්ධ සටන ආරම්භ වුණා. මුලින්ම ආරම්භ වූයේ කාන්තා වොලිබෝල් තරඟාවලියයි. ඉතාමත් උණුසුම්, ජවයෙන් යුතුව තරඟයට අවතීර්ණ වූ කාන්තා කණ්ඩායම් තරඟකාරී උද්වේගකර සටනකින් පසුව කාන්තා රසදිය කුසලාන වොලිබෝල් තරඟයෙහි ශූරියන් ලෙස කිරුළු පැලැඳූයේ බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල කණ්ඩායමයි. එහි අනුශූරියන් ලෙස අභිසෙස් ලැබුවේ බ්‍රැන්ඩික්ස් රඹුක්කන කණ්ඩායමයි. එසේම ඉන්පසුව රසදිය කුසලානයේ සැබෑම තරඟකාරී උණුසුම් බව වැඩි වන්නට පටන් ගත්තේ පිරිමි වොලිබෝල් තරඟාවලියත් සමඟයි. උද්වේගකර තරඟයකින් පසු පිරිමි රසදිය වොලිබෝල් කුසලානයේ සාඩම්බර හිමිකරුවන් වූයේ බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල් රත්මලාන සෙන්ටර් කණ්ඩායමයි. ඒ හා කරට කර තරඟ කළ බ්‍රැන්ඩික්ස් මඩකලපුව කණ්ඩායම අනුශූරතාව හිමි කරගත්තා.

උද්වේගයත්,ජවයත් අසීමාන්තික කැපවීමත් එකට කැටිකරගත් මේ තරඟාවලියේ ජයලැබූ කණ්ඩායම්වලටත්, සියලු දක්ෂයින් වෙතටත් සම්මාන ත්‍යාග පිරිනමන්නට බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරීතුමා ඇතුලු ඉහළ විධායක ශ්‍රේණි නිළධාරින්, මානව සම්පත් අංශයේ ඉහළ කළමනාකාරීත්වය ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූවා.

තරඟ කළ කණ්ඩායම්, ජය ලැබූ කණ්ඩායම්වලට අමතරව තවත් සුවිශේෂී ජයග්‍රාහකයින් තේරීමක් මෙවර සිදුකරනු ලැබුවා. ඒ හොඳම ආයතනික නිවාසය නිර්මාණය සඳහා බ්‍රැන්ඩික්ස් ඒකල වූවන් සෙන්ටර් සහ හොඳම දිරිගැන්වීම සිදුකළ බ්‍රැන්ඩික්ස් රඹුක්කන යන ආයතනය ද්විත්වය වෙනුවෙන් විශේෂ ඇගයීමක් ලබාදීමයි.මේ සියලු සම්මාන බුහුමන් අවසන්ව බ්‍රැන්ඩික්ස්හි ජය ලැබූ සියල්ලන්ටත්, පරාජය වූ සියල්ලන්ටත් එක සේ විනෝදවන්නට DJ සංගීත රාත්‍රියක් සංවිධානය කරන්නට බ්‍රැන්ඩික්ස් සමූහය විසින් කටයුතු කර තිබුණා.

ඉතින් උදෑසන පටන් ජවයෙන් උද්වේගයෙන් පිබිදුණ බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් සඳහා විනෝදයෙන් කුල්මත් වන්නට ඉඩ පහසුකම් ලබාදෙමින් රසදිය කුසලාන වොලිබෝල් තරඟාවලිය ඉතාමත් සාර්ථක අන්දමින් නිමා වූවා. ඉදිරියටත් මෙවැනිම තාරුණ්‍යයේ බලය,ජවය සපිරි උද්වේගකර තරඟාවලියක් සංවිධානය කරන්නට බ්‍රැන්ඩික්ස් අපි අනිවාර්යයෙන්ම සූදානමින් සිටින බව ඉතාමත් සතුටින් ප්‍රකාශ කරන අතරම, සිය ජවය ශක්තිය වගේම කාලය කැප කරමින් තරඟාවලිය සඳහා සහයෝගය දැක්වූ සියලු සාමාජික සාමාජිකාවන් වෙතද අපගේ කෘතඥතාව පිරිනමන්නෙමු.

Facebook
Facebook