හිමි අහිමි අහිමි ජීවිතය

මනුෂ්‍යයෙක් මේ ලෝකෙට බිහි වෙන්නෙම ලොකු තරඟයකින් දිනලා. ඒ තමයි ශුක්‍රාණු මිලියන ගාණක් එක්ක සටන් කරලා ඩිම්බයක් අයිති කරන් ඒ ඩිම්බෙත් එක්ක එකතු වෙලා ජීවියෙක් වන සටන. ඔයා ළඟ කිසිම දෙයක් නැතුවත් ඔයාට ඒ තරඟෙන් දිනන්න පුලුවන් වුණානම් අද සර්ව සම්පූර්ණ මිනිසෙක් වෙලා ගොඩක් වටිනාකම් ජීවිතේට එකතු කරන් ඉන්න ඔබ, ජීවිතේට ප්‍රශ්නයක් වේදනාවක් ආවම ජීවිතේ අත්හරින එක තමයි හොඳ කියලා හිතන්නේ ඇයි? ඇයි ඔයා කලකිරෙන්නේ? තීරණ ගන්න කලබල වෙන්නේ?

ඔබේ කලකිරීමට, කලබලයට හේතුව යමක් ඔබ බලාපොරොත්තු වුණ විදිහටම නොවුණ නිසා දැනුණ දුක වේදනාව නම් මතක තියා ගන්න බලාපොරොත්තු කියන්නේ ඇතිවෙන මොහොතෙදීම නැතිවෙලා යන්නත් පුලුවන් තාවකාලික දෙයක්. හැබැයි, අපි මොහොතක් නැවතිලා හිතුවනම් ඇයි මට මේ දේ නැති වුණේ, ඇයි මේ කෙනා මගෙන් ඈත් වුණේ, ඇයි මට මේ සිද්ධියට මුහුණ දෙන්න වුණේ, එහෙමත් නැත්නම් මේ දේ මෙහෙම වෙන්න හේතුව මොකක්ද? කියලා.. අපිට ජීවිතේ අපි නොදැකපු පැත්තක් දැකගන්න පුලුවන් වෙනවා. එකිනෙකාට හෝ තම තමන්ටම චෝදනා කරගන්න එක, තමන් ගැනම වරදකාරී හැඟීමක් ඇතිකර ගන්න එක නවත්තල අපේ වැරදි, අඩුපාඩු හදාගන්න අවස්ථාවක් අපිට ලැබෙනවා.

අපිට දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොඳ වෙනත් දෙයක් අපිට ලැබෙන්න තියෙන නිසා වෙන්න පුලුවන්. කෙනෙක් අපේ ජීවිතයෙන් ඈත් වෙන්නේ අපේ ජීවිතේට ලැබෙන්න ඉන්න හොඳම කෙනා ලැබෙන්න වෙන්න පුලුවන්. අපිට යම් යම් අනපේක්ෂිත දුක්ඛිත සිද්ධීන්වලට මුහුණ දෙන්න වෙන්නේ ජීවිතේ ගැන අපිට අලුත් පාඩමක් කියලා දෙන්න වෙන්න පුලුවන්. අද ඔයා ගාව තියෙන බුද්ධිය, දැනුම, හිතේ ගතේ ශක්තිය, ඔයාගෙ වටේ ඉන්න අයගේ උදව්, මේ හැමදේම එක්ක ඔයාට අහිමි වුණ එක බලාපොරොත්තුව වෙනුවට තව බලාපොරොත්තු සීයක් වුණත් ගොඩනඟාගෙන ඒවා ඉෂ්ට කරන්න පුලුවන් හයිය ඔබ ළඟ තියෙනවා.

ඔබේ ජීවිතේට එන ප්‍රශ්න එක්ක ජීවිතේට නැවතීමේ තිතක් නැතුව තිත් කොමාවක් තියා ගන්න ඕන කරන්නේ තීරණ ගනිද්දී හැඟීම්වලට යට නොවී බුද්ධිමත් වීම විතරයි. කවදාවත් ආවේගවලට තීරණ ගන්න එපා. ඔබ ඔබව විශ්වාස කරන්න, ඔබේ වටිනාකම් හඳුනාගන්න. තව කෙනෙක් ඔබට වටිනාකමක් දෙනකන් දිරිමත් කරනකන් බලන් ඉන්න. ජීවිතෙන් සමු අරන් හොයන්න හදන උත්තරේට වඩා සුන්දර උත්තරයක්, ලස්සන අනාගතයක් ඔබ තුළින්ම ඔබටම ගොඩනඟා ගන්න පුලුවන්.

යසස්මී තුඩුහේන

මනෝඋපදේශිකා – BLI 3

Facebook
Facebook