ප්‍රේමය කියන්නේ අවශ්‍යම ඔසුවක්

පැන් පොදක් ඉසින්නට හදවතේ ප්‍රේමයට
ඉඩක් දෙනු මොහොතකට ඒ ගැන කියන්නට
ආදරේ තවරලා රස පිරුණු කවියකට
තවත් හැඩ කරන්නම් දැනෙන ලෙස හදවතට…

ලැබුනත් නොලැබුනත් නොවෙනස්ව ආදරේ
රකින එක යුතුකමක් එය තමයි ජීවිතේ
මොන තරම් සැඩ වුණත් සංසාර සාගරේ
ආදරේ පා කරමු මේ හමන මාරුතේ…

ජීවිතේ හැමදේම හිමි නොවන හින්දා
ප්‍රේමයට ඉඩ තියලා තනිකමම වින්දා
ප්‍රේමයේ නිසි අරුත දන්නාම හින්දා
බොහෝ හිත් ආදරෙන් පිරිලාද මන්දා….

මිනිසුන්ට ජීවිතේ අවැසිමයි අරුතක්
නොවේ නම් ඒක වෙයි හබල නැති ඔරුවක්
දුක සතුට කැටි වෙච්ච ඉතා රස මුසුවක්
ප්‍රේමය කියන්නෙම අවශ්‍යම ඔසුවක්….

හිත පිරෙන සිනහවක් මුව මතට ගේන්න
කෙනෙකුගේ දුක් කතා මොහොතකට අහන්න
ප්‍රේමයෙන් පුලුවන් හැම හිතම නිවන්න
ප්‍රේමයට මලක් වී සුවඳ දී පිපෙන්න…

H.H. නිශා මධුරංගි
බ්‍රැන්ඩික්ස් මීරිගම -01

Facebook
Facebook