මව්පිය සෙනෙහස

නිදිවරා මුලු රැය පුරාවට
දිය කළා මහ සෙනෙහෙ කන්දක්
පාදලා ඇස් හෙළි කලා මඟ
පිරෙව්වා කුස නොකර අඩුවක්
ඇතත් කුසගිනි මහමෙරක් මෙන්
හිනැහිලා හිඳ නැතිව ගානක්
මව්පියන් අප හැදුවා වැඩුවා
සෙනෙහසේ නැත නිමාවක්…

කිරි කරලා ලේ හඬන විට දරු
පොවාලා සුවහසක් මව්වරු
හීන මැව්වා රජ කරන්නට
දුන්නා ඈ ඔවදනුත් නිරතුරු
පණ නලත් දී රකිනු රිසියෙන්
තිබුණි නම් කිරි එරෙන පියයුරු
මව්වරුන්ටත් වඩා වැඩියෙන්
ඇත්තමයි බුදුවෙලා පියවරු…

වැහැරිලා ගත වාරු නැතිවෙයි
අම්මා අප්පච්චිගේ දවසක
බරක් වේ යැ’යි සිතන්නටවත්
එපා දුක්ගිණි නැගෙයි හදවත
මහලු මඩමේ දොරටුවක්වත්
ඇරෙන්නට නම් එපා මතුවට
කවලා පොවලා රැකගමු නිති
උන් අපට කිරි දුන්න විලසට…

ප්‍රේමයේ රසමුසුම තැන් ගැන
ලීවාට කවි ගීත කවියන්
අම්මා තාත්තා තමයි මේ ලොව
අපට සිටිනා එකම දෙවියන්
මටත් වැඩියෙන් ඔබේ උණුසුම
විඳිනවා අද මගේ දරුවන්
ලෙඩ දුකක් වෙන්නට එපා ඔබ
රකිනවා මම මගේ පණ මෙන්…

නිම කරන්නට නොහැක අම්මේ
ලියා කවදාවත් ඔබේ ගුණ
නිහඬ ආදරවන්තයා නුඹ තාත්තේ
මගෙ ලොවේ රජ වුණ
ජීවිතේ යම් දිනක් වේ නම්
නුඹ නිසාවෙනි මා සිනාසුන
කවදා හෝ නුඹ නොමැති දවසක
කොහොම ඉන්නද දුක දරාගෙන..

සන්ධ්‍යා සේනාධීර
බ්‍රැන්ඩික්ස් රඹුක්කන

Facebook
Facebook