ප්‍රේමය

ඇසුව පමණින් හිතට දැනෙනා මිහිරි වදනකි
එයයි ප්‍රේමය
බෙදන්නට හැකි දෙයක් වූවත් බදන් ඉන්නා
දෙයකි ප්‍රේමය
විඳින විඳවන දෙයක් වේ නම් ඒ තුළත්
ඇත්තේම ප්‍රේමය
කොයි තරම් උපමා කියුවත් සිතට දැනෙනා
දෙයකි ප්‍රේමය

හිමිවුණා හෝ නොලැබුනා හෝ
ළඟ හිදීමත් ප්‍රේමෙකි
තවත් හිතකට වෛර නොකරන
තැනත් ඇත්තේ ප්‍රේමෙකි
ළඟ ඉඳන් හෝ දුර ඉඳන් හෝ
රැකගැනීමත් ප්‍රේමෙකි
අනෙකාගේ තුටු සිනහවන් මැද
අතහැරීමත් ප්‍රේමෙකි….

හීන් හිරිකඩ පොද වැස්ස මෙන්
දැවෙන කතරක් නිවාලූ
හමන සිහිලැල් සුළං රැලි මෙන්
ගතට සිසිලස ගෙනාවූ
හිමිදිරියේ පිපෙනා මලක් මෙන්
මුවඟ සිනහා මවාලූ
එයයි හැමවිට සොයන ප්‍රේමය
සිත් තැවුල් දැක නිවාලූ…

බිඳක්වත් තනි නොකර නිරතුරු
පරිස්සම් රැකවල් යෙදූ
සිර නොකර කවුලුවෙන් පිට ලොව
පියාඹන්නට සැලැස්වූ
පාළු නොදැනෙන්න හැමවිට කතාබස් කර
හිනැස්සූ
ඔසුවකි මා සිතන ප්‍රේමය ගිලන් සිත්
සුවපත් කෙරූ…

පවිත්‍රා දුලංජලී
බ්‍රැන්ඩික්ස් රත්මලාන

Facebook
Facebook