දවා හදවත පලා ගිය රුදු සළෙල කුමරෙකුගේ නමින්
මවා කුමටද සිහින මන්දිර හලාහල කඳුළක් බොමින්
නිවා සිත තුළ නැඟුණු ගින්දර විඩාපත් සිත සනසමින්
ගෙවා ගවු දුර සොයා යනු මැන නවමු වූ අරුතක් පෙමින්
සරා සිහිනෙක දිවා රැයෙහිම මැව්ව පැතුමන් සුන් කරන්
නිරාමිස සුව සොයා ගිය පෙම් සිහින අහුරම ගිනි අරන්
මරා මතකය දවා හලු කර මකා සලකුණු කර තුරන්
පරාජිත පෙම් කවක් බඳිනෙමි ගලා යන කඳුලක් දරන්
අමාවක මිස සරා සඳ නෑ මගේ විජිතයේ දිලෙන්නේ
දමා අතහැර යන්න නොහැකිව මතක සිත ඉකිබිඳින්නේ
පමා වී ආ වසන්තය නුඹ කඳුල මට තනි රකින්නේ
සමා වුව මැන හිතේ යළි නෑ ආල සිතුවම් මැවෙන්නේ
තැලී පරවුණු මලෙක නෑ කිසි ලෙසක සුවඳක් හමන්නේ
හැලී ගිලිහුණු ළපලු මල් පෙති නෑ මලක් යළි තනන්නේ
ගැලී අඳුරෙම බලා ඉන්නම් ඉරක් නෑ හෙට නැඟෙන්නේ
පැලී හදවත මැරී යන්නම් හුස්ම යලි නෑ වැටෙන්නේ
G.H.A. ශිරාණි
බ්‍රැන්ඩික්ස් කොග්ගල