කාලයක් තිස්සේ වැටුනු වැස්ස නැවතිලා පරිසරයේ රස්නේ දවසින් දවස වැඩිවෙන කාලයක් තමයි දැන් ගෙවෙන්නේ. අපේ ශරීරෙට දරාගන්නත් බරිතරම් රස්නයක් තමයි මේ දවස්වල අපිට අත්දකින්න වෙලා තියෙන්නේ. මේ තත්වයේ බැරෑරුම්කම කාලගුණ දත්තවලින් විතරක් නෙවෙයි සෞඛ්‍ය අංශවලිනුත් මේ දවස්වල අපට නිතරම තොරතුරු ලැබෙනවා. ඉතින් ලොකු අක්කා ලිපි මාලාවෙන් මේ පිච්චෙන රස්නෙට අපිට අනුගමනය කරන්න පුලුවන් සරල දේවල් ටිකක් දැනුවත් කරන්නයි මේ සූදානම.
ලංකාව කියන්නේ වැඩි වශයෙන්ම උණුසුම් දේශගුණයක් තියෙන රටක්. මේ ගෙවෙන මාස කිහිපය තුළ උෂ්ණත්වය ඉහළ යන කාලයක්. ඒ වගේම මෑත කාලයේදී ලංකාවේ උෂ්ණත්වය වසරින් වසර ඉහළ යාමේ තොරතුරු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිරීක්ෂණය කර තිබෙනවා. ඉතින් මේ දැඩි උණුසුම නිසා අපේ ශරීරයේ ජලය අඩුවීම වලක්වා ගන්න අනිවාරෙන්ම වෙනදාටත් වැඩිය ජලය පානය කිරීම අත්‍යවශ්‍යයි. සාමාන්‍ය පුද්ගලයෙක් නම් දිනකට ලීටර් 3-4ක් අතර ප්‍රමාණයක් පානය කිරීමෙන් මේ රස්නයෙන් අපේ ශරීරයේ ජලය අඩුවීම අවම කරගන්න පුලුවන්. මේ කාලයේ පිපාසයක් නැති වුණත් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය දෙයක්. පොල්වතුර, තැඹිලි, කොමඩු, පිපිඤ්ඤා වැනි එළවලු පළතුරුත්, රණවරා ඉරමුසු වනි ඖෂධීය පාන වර්ග වතුරවලට අමතරව අපිට ගන්න පුලුවන් ආහාරපානයි. ඒ වගේම ඔබ ඇඳුම් අඳිද්දී මේ උණුසුම් කාලගුණයට ගැලපෙන්න අඳින්න වගබලාගන්න. ලා පැහැයෙන් යුතු ඇදුම් තාපය ආකර්ෂණය කරනොගන්නා අතර සැහැල්ලු වගේම කපු වැනි රෙදිවලින් නිෂ්පාදනය කරපු ඇඳුම් මේ කාලයට වඩාත්ම උචිතයි. ඔබ දැඩි අව් රශ්මියට නිරාවරණය වනවා නම් හිස හොඳින් ආවරණය වන තොප්පියක්, කුඩයක්, අව්කණ්ණාඩියක් වගේම sun cream එකක් භාවිත කිරීම ඔබේ ශරීරයේ ඉර එළියට නිරාවරණය වන කොටස් අව්වෙන් වෙන පිළිස්සීම්වලින් ආරක්ෂා කරගන්න පුලුවන් වේවි. Sun cream භාවිත කරනවිට spf 30ට වඩා වැඩි sun cream මිළදී ගන්න වගබලාගන්න. ඒ වීතරක් නෙවෙයි. ඔබ මේ දවස්වල එළි පහළියට යනවා නම් කුඩයක් හොඳින් හිස වසෙන තොප්පියක් රැගෙන යන්න අමතක කරන්න එපා. සැහැල්ලු සහ සමබර, දිරවීමට පහසු ආහාර ඔබේ කෑම පිඟානට එකතුකර ගැනීමෙන් මේ උෂ්ණාධික පරිසර වෙනස්වීමට මුහුණ දෙන්න ඔබට පහසු කරනවා. විශේෂයෙන්ම වැඩිහිටියන්, නිධන්ගත රෝග සහිත අය සහ ළමුන් මේ කාලයේදී වඩාත් පරෙස්සම් විය යුතු වෙනවා. මේ අවධානම් කාල සීමාවේ මේ උපදෙස් අනුව කටයුතු කරොත් ජවයෙන් යුතු සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ඔබට ලබා ගන්න පුලුවන්.