ඔයාට පුළුවන් ද කවදාවත් නොඑන කෙනෙක් වෙනුවෙන් අවුරුදු 9ක් බලන් ඉන්න…
හචිකො නම් එහෙම කළා
කවුද හචිකො කියන්නේ?
හචිකො… එයා ඉපදෙන්නේ 1923 නොවැම්බර් 10 වෙනිදාවක ජපානයේ ඔදාතේ නගරය කිට්ටුව තියෙන ගොවිපළක. මෙයා පිරිමි සතෙක්. හචිකොගේ වර්ගය හඳුන්වන්නේ අකිතා (Akita) කියන නමින්. රත්තරන් පාට දුඹුරු මවිල් තිබුණ හචිකො ඉපදිලා මාස දෙකක් යනකොට එයාව හදා ගන්න ගත්තා මහාචාර්ය හිඩේසමුරෝ උඉනෝ (Hidesabaro Ueno). එයා ටෝකියෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳව ඉගැන්වීම් කළා. හචිකො තමන්ගේ නව අයිතිකාරයා වූ මහාචාර්යවරයා එක්ක ජීවත් වුණේ ශිබූයා (Shibuya) නම් ප්‍රදේශයේ. කාලයක් ගතවෙන කොට මේ දෙන්නා අතිශයින්ම කුලුපග මිත්‍රයන් වෙලා. මහාචාර්යතුමා හැමදාම වැඩට ගියේ කෝච්චියෙන්. උදෙන්ම දුම්රිය නැවතුමට එන මහාචාර්යතුමා පිටිපස්සෙන් හචිකොත් එනවා. හැබැයි එයා ආපහු ගෙදර යන්නේ හවසට මහාචාර්යතුමා වැඩ ඇරිලා ආවාට පස්සෙයි. මේ අපූරු සංසාර බැඳීම, මේ අපූරු හිතවත්කම අසන, දකින සියලු දෙනාම පුදුමයට පත් කළා.
හැබැයි ලෝකයේ හැම දෙයක්ම අනිත්‍ය බව පසක් කරමින් 1925 මැයි මාසේ එක දවසක මේ අපූරු සම්බන්ධය නතර වෙනවා.
සුපුරුදු විදිහට උදේ වැඩට ගිය තමන්ගේ යාළුවා එනකම් හචිකො දුම්රියපළට වෙලා මඟ බලන් හිටියා.
ඒත් හචිකො නොදන්න දෙයක් සිදුවෙමින් තිබුණා. උදේ වැඩට ගිය මහාචාර්යතුමාට විශ්වවිද්‍යාලයේදී හදිසි හෘදයාබාධයක් ඇති වෙලා මිය ගිහින් තිබුණා.
රෑ වෙනකම් ශිබූයා දුම්රිය පොළේ හිටපු හචිකො ආපහු ගෙදර ගියා. හැබැයි ඊට පස්සේ දවසෙත් හැන්දෑවේ හචිකො දුම්රිය පොළට ආවා. සාමාන්‍යයෙන් මහාචාර්යතුමා එන කෝච්චිය එනකම් එයා දෑස් දල්වා ගෙන බලන් හිටියා. ඊට පස්සේ බලාපොරොත්තු කඩවුණ සිතින් ආපහු ගෙදර ගියා. ඔය විදිහට හචිකො දවසක් දෙකක් නෙමෙයි අවුරුදු 9ක් පුරාවට මේ දුම්රිය පොළට ආවා. මේ සිදුවීම හැමදෙනාම දැනගෙන හිටියා. ඒ අය හචිකොට හොඳට සැලකුවා. ඒ අය දැනන් හිටියා මහාචාර්යතුමා සහ හචිකො අතර තිබුණ සම්බන්ධය. නමුත් සමහර සේවකයන් හචිකොට හොඳට සැලකුවේ නෑ. නමුත් හචිකො ඒක ගණන් ගත්තේ නෑ.
ඒ 1935 මාර්තු 8 වෙනිදා… එදා හචිකො දුම්රිය පොළට ආවේ නෑ. එයා එනකම් බලන් හිටපු අය හචිකොට මොකද වුණේ කියලා හොයලා බැලුවා.
හචිකො ශිබූයා වීදියේ එක තැනක තමන්ගේ අවසන් හුස්ම සීතල වාතලයට මුදාහැර තිබුණා.
හචිකොගේ සම සංරක්ෂණය කරලා ටෝකියෝ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරලා තියනවා. මේ අපූරු මිතුදම නිසාම හචිකොගේ භස්මාවශේෂ මහාචාර්යතුමාගේ සොහොන ළඟින්ම තැන්පත් කෙරුවා.
අදටත් ජපානයේ ස්වාමි භක්තිය, අවංක මිතුදම හඳුන්වන ප්‍රබලම සංකේතය හචිකො.
1934දී හචිකො සිහිවීමට ශිබූයා දුම්රිය ස්ථානයේ ලෝකඩ ප්‍රතිමාවක් ද නිර්මාණය කළා. මේ දුම්රිය ස්ථානයට පැමිණෙන පිරිස් එක්වන ස්ථානයක් ලෙසින් ද මේ ප්‍රතිමාව ඇති ස්ථානය අදටත් ප්රකටයි. එසේම මේ දුම්රිය ස්ථානයේ පිටවීම් දොරටු පහෙන් එකක් වන මේ ස්ථානය “හචිකො පිටවුම” විදිහට හඳුන්වනවා.
මේ සත්‍ය සිදුවීම පාදක කරගෙන 2009 අගෝස්තු 8 වැනි දා Hachi: A Dog’s Tale කියන චිත්‍රපටය ජනගත කරනවා. මෙය 1987 ජපානයේ නිෂ්පාදනය කළ Hachiko Monogatari කියන චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. IMDb (Internet Movie Database) දර්ශකයේ 8.1/10 ලබා ගන්නට මෙම චිත්‍රපටයට හැකියාව ලැබුණා. ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තා අලුතින් ලියන්න මේ චිත්‍රපටයට හැකි වුණා. ඒ තරම් එය සාමාන්‍ය ජන හදවත්වලට සමීප වුණා.
“හචි” චිත්‍රපටය බලලා පුළුවන් නම් නොඅඬා ඉන්න කියලා මම අභියෝග කරනවා.
තවත් චිත්‍රපට කතාවකින් ආපහු හමුවෙමු…
මොහාන් සුරවීර