පිබිදුණු තාරුණ්‍යයේ රේඩියෝ අඬහැරය - බ්‍රැන්ඩික්ස් රේඩියෝ

ආයුබෝවන්! අද අපිත් එක්ක ඉන්නවා ඔයාලා ගොඩක් ආදරය කරන දෙන්නෙක්. ඒ තමයි බ්‍රැන්ඩික්ස් රේඩියෝවේ ඔයාලාගේ ආදරණීය හිතවතුන් දෙදෙනෙක් වන රයන් එක්ක රතු කොච්චි.

රයන් තමයි බ්‍රැන්ඩික්ස් රේඩියෝවේ වැඩසටහන් කළමනාකරු. හැමෝම රයන් කියලා හඳුන්වන ඔහු චතුරංග තේනුවර.

ඒ වගේම රතු කොච්චි කියලා කිව්වට සැර නැති ආදරණීය ඇය රුවිනි හේවගේ.

2010දී ආරම්භ වුණ බ්‍රැන්ඩික්ස් රේඩියෝව මේ වෙන කොට දිගු ගමනක් ඇවිත් තියෙනවා වගේම නවමු වෙනස්කම් රාශියක් ද සමග සාමාජික සාමාජිකාවන්ට වෙනස්ම අත්දැකීම් ගොන්නක් ද ලබා දී තිබෙනවා.

“සඳුදා, බදාදා, සිකුරාදා උදේ 9-12 Good Morning Brandix වැඩසටහන මම කරනවා. මම උදේම වැඩසටහන පටන් ගන්නේ බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් එවන ජීවිතේට වැදගත් පණිවුඩයකුත් කියවලා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන නිෂා මදුරංගි එහෙම හොඳ අදහස එවනවා” රයන් අපි එක්ක මෙහෙම කියාගෙන යනකොට රතු කොච්චි කතාවට පොඩ්ඩක් බාධා කරමින් මෙහෙම කිව්වා.

“උමේෂා පතිරණත් අපිට හොඳ අදහස් එවනවා. එයාවත් මතක් කරමු. එතකොට අනිත් අයටත් මෝටිවේශන් එකක් වේවි ඒක”

රයන් ආයිත් එයාගේ කතාව පටන් ගත්තා. “ඔව්, එයාලා දෙන්නා වගේම ඔයාලත් අපිට හොඳ අදහස් එවන්න. අපි ඒවා කියවන්න බලාගෙන ඉන්නවා රේඩියෝ එක හරහා”

අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා icom සාමාජික සාමාජිකාවන් සමග කරගෙන යන Cool Drive Morning Show එක ඉදිරියේදී නව ජවයකින් කරගෙන යන්න ඉන්න බවත් ඔයාලාගේ ආදරණීය හිතවතුන් දෙන්නා මතක් කළා.

සතියේ දවස් පහේම දවල් 12 ඉඳලා 3 වෙනකම් සිංදු සම්බෝලේ කරගෙන යන රතු කොච්චි වියමන් අපි එක්ක ඔයාලා ගැන මෙහෙම කිව්වා,

“එයාලව නොදැක්කා වුණත් එයාලා හරිම විශ්වාසනීය වගේම මිත්‍රශීලී පිරිසක්. දවසක් හරි මම නැත්නම් මැසේජ් එවනවා අක්කේ ඇයි ඔයා අද නැත්තේ කියලා අහලා. මගේ කටහඬේ වෙනසක් තිබුණත් එයාලා ඒක අඳුනගන්නවා. අහනවා ඒ ගැන. ඒ නිසා හරිම සජීවී රේඩියෝ අත්දැකීමක් බ්‍රැන්ඩික්ස් රේඩියෝව හරහා මම ලබනවා.”

දවසකට අවම මැසේජ් 500ක්වත් ඔයාලාගෙන් ලැබෙන බවත්, සමහර දවස්වලට මැසේජ් 4,000ක් විතර ලැබෙන බවත් මතක් කළ රතු කොච්චි අපිට කිව්වේ ඒ මැසේජ් හැම එකක්ම වගේ ආදරය පිරුණු ඒවා බව තමයි.

හවස 3-5 අලුත් වැඩසටහනක් කරන්නත් බ්‍රැන්ඩික්ස් රේඩියෝව සූදානමෙන් ඉන්න බව රයන්, රතු කොච්චි දෙන්නා වියමන් අපිට කිව්වා. ඒ වගේම බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ දරු පැටව් වෙනුවෙන් වැඩසටහන් කීපයක්ම ඉදිරියේදී ආරම්භ කරන්නත් බ්‍රැන්ඩික්ස් රේඩියෝ කණ්ඩායම හිතාගෙන ඉන්න බවත් මතක් කළා.

පෙබරවාරි මාසයේ තවත් අලුත් වැඩසටහනක් ආරම්භ වෙන්න නියමිතයි. ඒ තමයි ‘අපි ආදරෙයි බ්‍රැන්ඩික්ස්’ වැඩසටහන.

මේ දේවල්වලට අමතරව බ්‍රැන්ඩික්ස් ජිංගල් එක නිර්මාණය කරන්නත්, ගායනා කරන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ ගැන බ්‍රැන්ඩික්ස් රේඩියෝවෙන් වැඩි විස්තර ඔයාලා හමුවට ගේන්නත් ඒ දෙන්නා බලාගෙන ඉන්නවා.

ඒ වගේම බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් රේඩියෝ වැඩසටහන් ගැන පුහුණු සැසි පැවැත්වූ බ්‍රැන්ඩික්ස් ආයතනය ඉදිරියේදී තවත් පුහුණු සැසි සිදු කරන්න බලාපොරොත්තු වෙන බවත් රයන් සහ රතු කොච්චි අපිට කිව්වා.

රයන්, රතු කොච්චි දෙන්නාම කිව්වෙ ඔයාලා එක්ක වැඩ කරන එක හරිම ආදරණීය අත්දැකීමක් කියලා. රාමුවකට කොටු නොවුණ සජීවී රේඩියෝ අත්දැකීමක් ඔයාලා එක්ක ලබන්න හැකියාව ලැබෙන බවත් රැකියාවකට එහා ගිය එකම පවුලක් වගේ හැඟීමක් බ්‍රැන්ඩික්ස් රේඩියෝ එක හරහා එයාලත් ලබන බව ඔයාලට කියන්න කියලා ඒ දෙන්නා වියමන් අපි එක්ක කිව්වා.