“ජීවිතයට හොඳ අඩිතාලමක් තිබීම වැදගත්”

සිහින රැසක් තියාගෙන හදන නිවසක අඩිතාලම ශක්තිමත්ව දානවා වගේ අපේ ජීවිතයේ අඩිතාලමත් ශක්තිමත්ව දාගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. ශක්තිමත් අඩිතාලමක් මත ජීවිතය ගොඩ නංවාගෙන නිවැරදි තීරණ තුළින් සාර්ථකත්වයට පත් චරිතයක් තමයි අද වියමන් TV ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනෙන් ඔයාලා හමුවට එන්නේ. ඒ, බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රවීන් ජයසුන්දර මහතායි.

“මම හැම වෙලාවෙම කැමතියි මම, මම හැටියට දකින්න. මම හැම වෙලාවෙම සරල ජීවිතයක් ගත කරන්න කැමතියි. අපි සරල වෙන තරමට අපිට හරි පහසුයි මේ සමාජය තුළ සතුටින් ජීවත් වෙන්න.

මම දකින තව විශේෂ දෙයක් තමයි අපි කරන හැම දේකම හොඳ අඩිතාලමක් දමා ගැනීම ඉතාම වැදගත්. මගේ ජීවිතය ගත්තොත් මම මට හැකි හැම අවස්ථාවකම මම උත්සහ කළා, උත්සහ කරනවා සහ ඉදිරියටත් උත්සහ කරනවා හොඳ අඩිතාලමක් දමාගෙන වැඩ කටයුතු කරගෙන යන්න. මම අධ්‍යාපනය අවසන් කරලා පළමු රැකියාව හොයාගත් වෙලාවේ මම කිසිම අවස්ථාවක එක ඩිපාර්ට්මන්ට් එහෙක වැඩ කළේ නැහැ. මම හැම වෙලාවෙම ඩිපාර්ට්මන්ට් එකෙන් ඩිපාර්ට්මන්ට් එකට මාරුවෙලා, ඉගෙන ගෙන හැම වැඩ කටයුත්තක් සම්බන්ධවම හොඳ දැනුමක් ලබා ගැනීමට උත්සහ කළා. මේ නූතන සමාජයේ ගොඩක් දෙනෙක් කැමති නැහැ එහෙම ඩිපාර්ට්මන්ට් එකෙන් ඩිපාර්ට්මන්ට් එකට යන්න. මොකද ගොඩක් වෙලාවට අර අඩිතාලම දමාගන්න උත්සහ කරන්නේ දැනුම පදනම් කරගෙන නෙමෙයි තමන්ට ලැබෙන අනෙකුත් දේවල් තමන්ගේ වැටුප වෙන්න පුළුවන්, දීමනා වෙන්න පුළුවන් ඒ ඔස්සේ තමයි අඩිතාලම දමාගන්න උත්සහ කරන්නේ.

ජීවිතේ අපිට විවිධාකාර අවස්ථාවලදි තීරණ ගන්න අවස්ථාවන් එනවා. ඒ වෙලාවට අපි තීරණ ගත යුතුයි. හැබැයි මම හැම වෙලාවකම කියන දෙයක් තමයි තීරණයක් ගත්තොත් ඒ තීරණේ හරි තීරණේ කියලා හිතාගෙන තමයි ඉස්සරහට යන්න ඕන. හරි තීරණ ගත්තෙ නැත්නම් අපිට පසුතැවෙන්න සිද්ධ වෙනවා.”