අම්මාට තෑග්ගක්

අම්මා කියන්නේ වචනයක් විතරක් නෙමෙයි. ඒක විස්තර කරන්න බැරි විශාල හැඟීමක්. ඔයාව මේ ලෝකෙට එන්න කලින් ඉඳලම ඔයාව කුසේ දරාගෙන, කවදාවත් නොදැකපු ඔයාට මහමෙරක් තරම් ආදරයක් අම්මා ලබා දුන්නා. ඉපදෙන්න කලින් ඉඳලම ඔයාව පරිස්සම් කළ, ඔයා වෙනුවෙන් පරිස්සම් වුණ අම්මා, ඔයා මේ ලෝකෙට ආවට පස්සෙත් ඔයා කොච්චර ලොකු වුණත් තාමත් ඔයාව දරාගෙන ඉන්නවා. ඒ ආදරයට සම කරන්න පුළුවන් ආදරයක් මේ ලෝකෙ නැති තරම්. අම්මාගේ ඒ අසීමිත ආදරයත් එක්ක තාත්තාගේ අසීමිත ආදරයත් එකතු වුණාම දරුවෙක්ගේ ලෝකය ගොඩක් ලස්සන වෙනවා.

අද ලෝක මව්වරුන්ගේ දිනය. සමහර විට මේක කියවන ඔයත් අම්මා කෙනෙක් නම්, එහෙම නැත්නම් ආදරණීය පුංචි අම්මා කෙනෙක් හෝ නැන්දා කෙනෙක් නම් ඔයාට දැනෙනවා ඇති මාතෘත්වය කියන්නේ මොන තරම් ආදරණීය, වගකීම් සහගත පදවියක් ද කියලා. ඔයා ඒ දරුවන් වෙනුවෙන් නිදි නොලබා කරන කැපකිරීම, දරුවෙකුට පුංචිම හරි අසනීපයක් හැදුණම ඔයාගේ හිතට දැනෙන හැඟීම මේ හැම දෙයක්ම විඳින කෙනෙක් නම් ඔයා දන්නවා අම්මා ඔයා වෙනුවෙනුත් මොන තරම් කැපවීමක් කරන්න ඇත් ද කියලා. අම්මා කෙනෙක් නොවුණත්, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සාඩම්බර දිනන දියණියක් වුණ ඔයා ගෙදර සාමාජිකයන් වෙනුවෙන්, ඔයා වෙනුවෙන් මහන්සිවෙලා රැකියාවක් කරන වගකීම් සහගත දියණියක් විදියට මේ වෙනකොට ජීවිතේ බර මොන වගේ ද කියලා දන්නවනේ. ඒ වගේ දහස් ගුණයක බරක් උහුලගෙන තමයි අම්මා ඔයාව ඔය තැනට ගෙනැත් තියෙන්නෙ.

ඔයා ගැන හැම වෙලාවෙම හොයලා බලන, ඔයා තරුණ දරුවෙක් වුණත් තවමත් ඔයාව හිතේ දරාගෙන ඔයාව පොඩි දරුවෙක් ගාණට හිතලා ආදරේ දෙන අම්මා වෙනුවෙන් එක් දිනයක් නෙමෙයි අවුරුද්දේ හැම දිනයක්ම වෙන් කරන්න. මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අම්මාට තෑග්ගක් දෙන්න ඕන නම් දෙන්න පුළුවන් වටිනම තෑග්ග තමයි අම්මා හීන දැක්ක විදියට ඔයා සතුටෙන් ජීවත් වෙන එක. ඇයට ඔයා ගැන ආඩම්බර වෙන්න පුළුවන් විදියට ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඔයා ඉරක් වෙන්න ඕන නැහැ ඒකට. ඔයා ඈත ආකාසේ දිස්නෙ දෙන පුංචිම පුංචි ලස්සන තාරකාවක් වුණත් ඒක අම්මාට මහමෙරක්. ලස්සනට බැබළෙන තාරකාවක් වෙන්න. ඔයාගේ ජීවිතේ දිනන්න. අම්මා වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකුම තෑග්ග ඒක වෙයි.