“මම ජීවිතය නම් පාසලේ ශිෂ්‍යයෙක්”

සෑම දවසකම අපිට ජීවිතයට අලුතෙන් යමක් ඉගෙන ගන්න අවස්ථාව උදා වෙනවා. නිරන්තරයෙන් අලුත් වන ලෝකයක එදිනෙදා ජීවිතයේ අත්දැකීම්වලින් ලබා ගන්නා දැනුමත් ජීවිතයට අමතර ශක්තියක් කරගෙන සාර්ථකත්වයට පත්, බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් (BCC) හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියංග දසනායක මහතායි මෙවර ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනට එක් වුණේ.

ප්‍රියංග දසනායක කියන්නේ පුද්ගලයෙක් විදියට කවුද?

ප්‍රියංග කියන්නේ වෙන ඕනම පුද්ගලයෙක් වගේ සාමාන්‍ය පුද්ගලයෙක්. ජීවිතයේ විවිධ භූමිකා රඟපාන, ඒ විවිධ වූ භූමිකා අතර තුලනයක් වෙනුවෙන් දෛනිකව සටනක යෙදෙන පුද්ගලයෙක්. මගේ ජීවිතයේ කවුරුහරි පුද්ගලයෙක් හම්බුණාම මම හැමතිස්සෙම බලන්නේ ඒ හමුවෙන් මගේ ජීවිතේට මොකක්ද ගන්න පුළුවන්, ඕනෑම අත්දැකීමකින් මම මොනවද ලබා ගන්නේ මගේ ජීවිතේට, ඊට අමතරව මම පාරේ යද්දි දකින දේවල්වලින් මම මොනවද මගේ ජීවිතේට ගන්නෙ කියලා. ඒ විදියට බැලුවාම මගේ ජීවිතේ අද වෙනකම් මේ දේ මට වැඩ කරලා තියෙනවා අද මේ තත්ත්වෙට එන්න.

BCC එකේ CEO විදියට ප්‍රියංග මොන වගේ චරිතයක් ද?

මගේ සුවිශේෂී කාර්යභාරය වෙන්නේ ආයතනයේ අපි එකඟවෙලා තියෙනවා ඉලක්ක, ඒ වෙනුවෙන් කොහොමද ආයතනය සහ ආයතනයේ කණ්ඩායම යොමු කරන්නේ කියන එක. කණ්ඩායම බලගන්වන එක තමයි මගේ දෙවනි කාර්යභාරය. තුන්වෙනි සහ සුවිශේෂී කාර්යභාරය වෙන්නේ කණ්ඩායමට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවා විසඳලා දෙන එක. මම විශ්වාස කරනවා ඔය දේ මම කරනවා ඇති කියලා. කවදා හරි දවසක කාලය විසින් තීරණය කරයි මම ඒක කළා ද නැද්ද කියන එක.

ප්‍රියංග හිතන විදියට අධ්‍යාපනය කොච්චර වැදගත් ද?

ගොඩක් කට්ටිය විධිමත් අධ්‍යාපනය පසුපස හඹා යන්නේ. විධිමත් අධ්‍යාපනයක් තියෙන තරමට මනුස්සයෙක්ගේ මුහුකුරා යාම ගොඩක් දුරට සිද්ධ වෙන දෙයක්. නමුත් දිනපතා අත්දැකීම් එක්ක අපිට ඒ ගන්න තියෙන අධ්‍යාපනය ගොඩක් අය තමන්ගේ සිස්ටම් එකට ගන්නේ නෑ. නියම චැලේන්ජ් එක තියෙන්නේ විධිමත් අධ්‍යාපනයේ නෙමෙයි. අපි එදිනෙදා කොහොමද මිනිස්සුත් එක්ක ගැටෙන්නේ, මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ, මේ දේවල් පොත්වලින් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. මම විශ්වාස කරන්නේ නියම අධ්‍යාපනය විදියට ඔය දෙකේ සංකලනයක්.