පිය සෙනෙහසක මහිමය

ඉස්කෝලේ ඉවරවෙලා ඉසුරි ගෙදර දුවගෙන ආවෙ හරිම සතුටෙන්. පියවරුන්ගේ දිනය වෙනුවෙන් ඉස්කෝලේ තියෙන උත්සවයේ නිවේදන කටයුතු කරන්න ඉසුරිව තෝරගත්ත නිසා තමයි එයා ඒ තරම් සතුටෙන් හිටියේ. නිවේදනයට උපන් හපන්කම් තිබුණ ඉසුරිට මේ අවස්ථාව මහමෙරක් වගේ. ගෙදර දුවගෙන ආව ඉසුරි ගිරවියෙක් වගේ අම්මාට ඒ ගැන විස්තර කිව්වා. අම්මාත් ගොඩක් සතුටු වුණා. ඒත් එක ප්‍රශ්නයක් තිබුණා. ඉසුරිට තිබුණේ ඉරුණු සපත්තු ජෝඩුවක්.

ගෙදර අගහිඟකම් ගැන ඉසුරිගේ පුංචි හිතට තේරුණත් ඉසුරිගේ මේ වෙලාවෙ ලොකුම හීනෙ වුණේ පියවරුන්ගේ දිනේ දවසේ කරන නිවේදන කටයුතු විතරමයි. ඉසුරිගේ තාත්තා කළේ කුලී වැඩ. මාස දෙකකට විතර කලින් වුණ අනතුරක් නිසා තාත්තාගේ කකුලක් ටිකක් දරුණු විදියට තුවාල වුණා. තාමත් ඒ කකුල හොඳටම සනීපවෙලා නැතත් පවුලට වෙන ආදායම් මාර්ගයක් නැති නිසා ඉසුරිගේ තාත්තා මේ වෙනකොට කුලී වැඩ තමන්ට පුළුවන් විදියට කරන්න පටන් අරගෙනයි තිබුණේ. ඉසුරි බලාගෙන හිටියා හවස තාත්තා ගෙදර එනකම්. එයාට ඕන වුණා එයාට ලැබුණ මේ අවස්ථාව ගැන තාත්තා එක්ක කියන්න. ඒ සතුට තාත්තා එක්ක බෙදාගන්න.

හවස් වෙනකොට කකුලත් අද්දව අද්දව තාත්තා ගෙදර එනවා ඉසුරි දැක්කා. එයා දුවගෙන ගිහින් තාත්තාට කිව්වා පියවරුන්ගේ දිනේට උත්සවයක් තිබෙන බවත්, එයාව ඒකෙ නිවේදන කටයුතුවලට තෝරගත්ත බවත්. ඒ වගේම හැමෝගෙම තාත්තලාට එදාට ඉස්කෝලෙට එන්න කිව්ව බවත් කිව්වා. තාත්තා දුවගේ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටු වුණා. එවෙලෙ ඉසුරි තාත්තාට කිව්වා අලුත් සපත්තු ජෝඩුවක් අරන් ඕන කියන කාරණාවත්. ඒක අහපු තාත්තා දිග හුස්මක් පිට කරලා ගේ ඇතුළට ගියා. ඉසුරිගේ මූණත් දුකෙන් බර වුණා.

පියවරුන්ගේ දිනේ අත ළඟටම ඇවිත්. ඒත් තාත්තාගෙන් සපත්තු ජෝඩුවක් ගැන කිසිම වචනයක් පිට වුණේ නෑ. ඉසුරිට තාත්තා එක්කත්, තාත්තාගේ නිහඬ බව එක්කත් තිබුණෙ හරිම තරහක්. පියවරුන්ගේ දිනේට කලින් දවසත් ආවා. ඉසුරි ඉස්කෝලේ ගිහින් ආවේ හරිම දුකෙන්. අම්මා කෑම කවන්න හැදුවත් ඉසුරි එදා දවල්ට කෑවෙ නැහැ. ඉසුරි එදා හවස් වරුවම හිටියේ දුකෙන්. තාත්තා එයාට සපත්තු ජෝඩුවක් ගෙනැත් නොදුන්න එකට පුංචි ඉසුරි රණ්ඩු වුණේ නම් අම්මා එක්ක.

“කොහොමද මම හෙට ඉරුණ සපත්තු දාගෙන ස්ටේජ් එකේ කතා කරන්නේ?” කියලා ඉසුරි අම්මා එක්ක කිව්වේ හරිම තරහෙන්. ඉසුරි එදා හවස් වරුවම අම්මා එක්ක කතා කළේ නැහැ.

ගෙයි ඉස්තෝප්පුවට වෙලා ඇස්වල කඳුළු පුරෝගෙන හිටිය ඉසුරිගේ හිතේ විශ්වාසයක් තිබුණා තාත්තා අද හරි අලුත් සපත්තු ජෝඩුවක් ගෙනෙයි කියලා. වෙනදා තාත්තා ගෙදර එන වෙලාවත් දැන් පහුවෙලා. පාර බලාගෙන ඉඳලම හෙම්බත් වුණ ඉසුරි රෑටත් නොකා ඇඳට ගියා. තාත්තා ගෙදර එනකොට ඉසුරිට නින්දත් ගිහින්.

තාත්තා ගෙදර ආව බව දැක්ක අම්මා හවස වුණ සිද්ධිය ඔක්කොම තාත්තා එක්ක කිව්වා. ඉසුරි දවල්ටත් කාලා නැති බව දැනගත්ත තාත්තා ඉසුරි ළඟට ගිහින් “දුවේ, දුවේ” කියලා ඔළුව අතගාලා කන්න කතා කළත් ඉසුරි නෙමෙයි නැගිටලා ආවේ. තාත්තා ඉසුරිගේ කාමරෙන් එළියට ආව ගමන් කාමරේට ආව අම්මා “රෑටවත් කෑම කන්න ළමයෝ” කියලා බඩගින්නෙම ඉන්න ඉසුරිට පොඩ්ඩක් සැරෙන් කතා කළා. එතකොටම පාර්සලයකුත් අතේ තියාගෙන කකුලත් අද්දව අද්දව තාත්තා ආවා ආයෙත් ඉසුරිගේ කාමරේට. තාත්තා ඒ පාර්සලය ඉසුරිගේ අතට දුන්නම එච්චර වෙලාවක් මූණෙ හිනාවක්වත් නොතිබුණ ඉසුරිගෙ මූණ උදෙන්ම පිපුණ මලක් වගේ ලස්සන වුණා. අලුත් සපත්තු ජෝඩුවක් ලැබෙන එකක් නෑ කියලා තාත්තා ගැන හිතේ තරහ තියන් හිටිය ඉසුරිගේ ඇස්වලින් කඳුළු කඩා වැටෙන්න වුණා. සපත්තු ජෝඩුව තිබුණ බෑග් එක බලනකොට එයා දැක්කා අලුත් මේස් ජෝඩුවකුත් තාත්තා එයාට ගෙනැත් තියෙනවා. එයා තාත්තාව ආදරෙන් බදා ගත්තා.

තාත්තලාගේ ආදරේ ඒ වගේ තමයි. තාත්තලා ඒ ආදරේ ගැන කෑගහලා කියන්නේ නැහැ. අපිට ඒ ආදරේ දැනෙන්න ඉඩ දෙනවා. ඔයාව මලක් වගේ පරිස්සම් කරලා මේ තරම් දුරක් අරන් ආව තාත්තා වෙනුවෙන් ඔයා ලස්සනට මලක් වගේ පිපෙන්න. ඒ තාත්තාව ආදරෙන් බලාගන්න. පියවරුන්ගේ දිනය වුණ අද දවසේදී වියමන් පවුලේ අපි, ඔයාලා හැමෝගෙම තාත්තලාට නිදුක්, නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා!