“ජීවිතේ විඳින්න පුරුදු වෙන්න”

අභියෝගාත්මක වූ ජීවිතය සමබරව ගෙන යමින් සිය බලාපොරොත්තු ජයගත් චරිතයක් තමයි මෙවර වියමන් ටීවී ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහන සමග එක් වන්නේ. ඔහු ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී බ්‍රැන්ඩික්ස් සමූහ මානව සම්පත් කැලුම් කළුතොටගේ මහතායි.

“මම මාව හඳුන්වලා දුන්නොත් මම සරල චරිතයක්. පාසල් කාලය ගත්තොත් මම ගමක හැදුණ කෙනෙක්. සාමාන්‍ය පෙළ විභාගයේදී පාසලේ අනිත් අයත් එක්ක ගනිද්දි ඉහළ ප්‍රතිඵල ලබාගෙන මට හැකියාව ලැබුණා මාතර විද්‍යාලයකට ඇතුළු වෙන්න උසස් පෙළ සඳහා. මම මගේ යාළුවෙක්ගේ කීමට මුලින්ම බයෝ කරන්න ක්ලාස්වලට ගියා. හැබැයි මට තේරුණා මගේ අංශෙ ඒක නෙමෙයි කියලා. මගේ අවශ්‍යතාවය විශ්වවිද්‍යාල ප්‍රවේශය. අදාළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරනවත් එක්කම ප්‍රතිඵල එන්නත් කලින් මට හැකියාව ලැබුණා ලංකාවෙ ප්‍රමුඛ පෙළේ ආයතනයක විධායක ශ්‍රේණියට ඇතුළු වෙන්න.

මගේ බ්‍රැන්ඩික්ස් රැකියා ජීවිතයේ ආරම්භය හරිම අභියෝගාත්මකයි. බලාපොරොත්තු අපිව ජීවත් කරවයි, හැබැයි බලාපොරොත්තු මත අපි ජීවත් වෙන්න අවශ්‍ය නෑ. අපි බලාපොරොත්තුවලට යද්දි ජීවිතේ විඳින්නත් අපි පුරුදු වෙන්න ඕන. මම ගොඩක් ජීවිතේ විඳින කෙනෙක්. මම ලංකාව පුරාම ට්‍රැවල් කරනවා.

ගිය අවුරුද්දේ මට අවස්ථාව ලැබුණා හයිටි දේශයේ අපේම ආයතනයක ගිහිල්ලා මාස 8ක් 9ක් වැඩ කරන්න.  වර්තමාන ලෝකය තුළ මම දකින්නේ විශාල තාක්ෂණික පෙරළියක්. ලෝකය ඩිජිටල්කරණය වෙමින් පවතිනවා. මිනිස්සු තමන්ගේ පුද්ගලික අභිමතාර්ථ පස්සෙ රේස් එකක් දුවනවා. ජීවිතේ විඳින්න අමතකවෙලා තියෙනවා. සමහර වෙලාවට අපි අනිත් කෙනා කරන දේ අපිට පේන කෑල්ල විතරක් දකිනවා. හැබැයි ඒගොල්ලො ඒකට යන්න කරපු මහන්සිය, ඒ වෙනුවෙන් කරපු කැපකිරීම සමහර වෙලාවට අපි දන්නෙත් නෑ. ඉතින් ඒක තුළ ගොඩක් කට්ටිය අනුකරණය කරන්න ගිහිල්ලා අවස්ථාවන් නැති කරගෙන තියෙනවා.

කාලයත් එක්ක ලෝකය රිෆ්‍රෙෂ් වෙනවා. ඒක ස්වභාව ධර්මය විසින් කරන දෙයක්. ඒක සමහර වෙලාවට ටිකක් අමාරුයි. හැබැයි ඒකට අපි සූදානම් වුණොත්, භාර ගන්න සූදානම් වුණොත් අපිට පුළුවන් මේ ලෝකය තුළ නැවත අපේ තැන තහවුරු කරගන්න.”