අම්මයි, දුවයි අනුරාධපුරේ යන්න බස් එකට ගොඩ වුණේ හවස් වෙලා.
තාත්තයි, පුතයි නැතුව අම්මයි, දුවයි මේ වගේ දුර ගමනක් යන පළමු වතාව. දුව අම්මත් එක්ක ගමනක් යනවට වඩා කැමතියි තාත්තා එක්ක ගමන් යන්න. මොකද දුව කන්න ඕන කියන ඕනම දෙයක් කියන පරක්කුවෙන් දුවගේ අතට එන්නේ තාත්තා එක්ක යන ගමන් බිමන්වලදි. ඒත් මේ ගමන අම්මත් එක්ක යන්නේ සතුටින්. බස් එකේ එක ළඟම සීට් එකක් ලැබුණ එකත් දෙන්නට සතුටක්. රඹුක්කනින් ගමන ආරම්භ වුණ වෙලාවෙ ඉඳලා දුවට හරියට ප්‍රශ්න. අම්මට නිදහසක් නෑ දකින දකින දේවල් ගැන අම්මාගෙන් අහනවා.
“අම්මේ ඇයි ගෑනු ළමයෙකුට තනියම දුර ගමනක් යන්න එපා කියන්නේ?”
එකපාරටම අහ අහ ඉඳපු ප්‍රශ්න වෙනස් කරල දුව මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා.
“ගැහැනු ළමයි වීදුරු බඩු වගේ හැම වෙලාවකම හරියට පරිස්සම් කරන්න ඕනේ. ඒක නිසා තමයි ගෑනු දරුවන් තනිමංසල ගමන් යවන්නේ නැත්තෙ.”
“එතකොට අම්මේ සමහර ගෙවල්වල ගෑනු ළමයි විතරක් ඉන්නවා තාත්තා නැතුව. ඒ ගෙවල්වල අයට දුර ගමනක් යන්න ඕන වුණොත් මොකද කරන්නේ?”
අනේ ඇත්තට මේ කෙල්ලට තියෙන ප්‍රශ්න අම්මා තනියම හිතුවා.
“ඒ වෙලාවට අම්මට යන්න බැරි වුණොත් නෑදෑවෙන කෙනෙක් එකතු කරගෙන ඒ අවශ්‍ය වැඩ කරගන්නවා. ඒකට තමයි පුංචි අම්මලා, නැන්දලා, ආත්තම්මලා එක්ක හැම කෙනෙක්ම සහයෝගයෙන් ජීවත් වෙන්නේ.”
“අපේ රට හැම කෙනෙක්ම තව කෙනෙකුට උපකාර කරන සමාජ පරිසරයක් තියෙන රටක් නේ. නේද අම්මේ?”
එහෙම කියලා කෙල්ල සමච්චලයට හිනා වුණා.
“මේ අහගන්න දරුවෝ, අපි ඉපදිලා ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒ ටික කාලෙදි ඇයි අපිට බැරි කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න? තව කෙනෙක්ට උදව්වක් කරලා ඒකෙන් ලැබෙන සතුට හැමදාම හිතේ තියෙනවා. ඒ සතුට මතක් කර කර සතුටු වෙන්න පුළුවන්.”
“අම්මා කියන්නකො කාටද තව කෙනෙකුට උදව් කරන්න වෙලාවක් තියෙන්නේ?”
“දරුවෝ, තමන්ට ඕන නම් ඕන දේකට වෙලාව හදාගන්න පුළුවන්. වෙලාව නෑ කියන අය තමයි වැඩිපුරම වෙලාව නාස්ති කරන්නේ. කාට හරි උදව්වක් කරන්න තියා තමන්ගෙ වැඩ ටිකවත් දැන් කාලෙ අය කරගන්නේ නෑ තමයි. ඒ මේ ස්මාර්ට් ෆෝන් නිසා. උදේ ඉඳලා රෑ වෙනකල් ඔෆිස් ගිහින් වැඩ ඉවර වෙලා ගෙදර ආවම ආපහු ෆෝන් එකත් එක්කම තමයි ජීවිතේ. වීඩියෝ, ගොසිප් බල බල තනියම හිනා වෙවී නැති යාළුකම් හදාගෙන පවුල් අවුල් කරගන්න අය තමයි දැන් කාලේ වැඩි. මේ සියලු දේවල්වල ලිමිට් එකක් තියා ගන්නවා නම් ඕනම කෙනෙකුට වෙලාව කළමනාකරණය කරගන්න පුළුවන්.”
“අනේ අම්මේ, මට ඔයා එක්ක කතා කරලා දිනන්න බෑ. තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විතරක් උත්තරයක් දෙන්න හොඳ අම්මා වගේ. මට දැන් තමයි හිතෙන්නේ මම ගත්ත තීරණේ වැරදියි කියලා ඇයි තාත්තා තරහ ගියාම අම්මට කියන්නේ?”
“පුතේ ඒක දිග කතාවක්. මම ඒ ගැන කෙටියෙන් ඔයාට කියන්නම්. ඔයා ඉස්කෝලෙ ගිහින් ඉවර වුණාම ඔක්කොම කතාව කියන්නම්. හරි ද?
අපි දෙන්නා විවාහ වෙනකොට මගේ වයස 25යි. තාත්තාගේ වයස 28 යි. ඒ වෙද්දි තාත්තා විවාහ වෙන්න පොරොන්දුවක් දීලා තිබිලා තියෙන්නේ වෙන කෙනෙකුට.”
“ඒ කිව්වෙ?”
“තාත්තගේ යාළුවෙකුගේ නංගි කෙනෙකුට.”
“ඉතින්?”
“ඒකට ආච්චියි, සීයයි කැමති වෙලා නෑ. ඕක නිසා තාත්තා හිතේ අමාරුවෙන් තමයි ඉඳලා තියෙන්නෙ. සමහර තැන්වලදී ඒ වෙලාවෙ ගත්ත තීරණය ගැන එයා දුක් වෙනවා. ඒකයි එහෙම කියන්නේ.”
“ඉතින් අම්මට එක එක කතා කියලා හරියනව ද ආච්චිගෙ සීයගෙ වැඩවලට?”
“එහෙම තමයි පුතේ, ගෑනු අපි හැම දෙයක්ම හරි පරිස්සමින් පරිහරණය කරන්න ඕන. විශේෂයෙන් අපි විවාහ වෙන්න තෝරගන්න කෙනා ගැන හොඳ අවබෝධයකින් ජීවත් වෙන්න ඕනේ. අපි දෙන්නා මේ යන ගමන වගේ එකක් නෙමෙයි විවාහය කියන්නේ. විවාහය කියන්නේ බොහොම කැපකිරීමකින් ගෙවන්න ඕන ජීවිතයක්. ජීවින ගමනාන්තය අවසන් වෙන කල්ම තියාගන්න ඕන දෙයක්. ටිකට් එකක් ගන්න හරිම තැනක් නෑ. ගමනාන්තය මෙතනයි කියන්න බෑ. දරුවෝ ඒක හරිම අවබෝධයෙන් යන්න ඕන ගමනක්.”
අපි දෙන්න කතා කර කර ආව නිසා එනවා දැනුණේ නැහැ. කොන්දොස්තර මහත්තයා කියනවා ඉස්සරහින් ඔක්කොම බැහැගන්න කියලා.
“ආ…දරුවෝ, ඔය උඩින් තිබ්බ බෑග් එක ගන්න පරිස්සමට. පුංචිලාගේ ගෙදර ගෙනියන්න ගත්ත වැලිතලප ටික ඒ බෑග් එකේ.”
“හරි හරි, ඒක මම ගන්නම්. අම්මා පරිස්සමෙන් බහින්න.”
ආර්.බී.