“ධනාත්මක ආකල්ප තමයි අපිව මෝටිවේට් කරන්නේ”

“සාර්ථකත්වය කියන්නේ ඔබ ඉපැයූ මුදල් ප්‍රමාණය කොපමණක් ද කියන එකම නෙමෙයි. සාර්ථකත්වය කියන්නේ ඔබ මිනිස්සුන්ගේ ජීවිතවල මොන වගේ වෙනසක් කළා ද කියන එකයි,” කියලා ඇමරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමා මහතාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා මහත්මිය වරක් පවසා තිබෙනවා. කාන්තාවක් ලෙස බ්‍රැන්ඩික්ස් සමූහයේ ඉහළම තනතුරක් දරමින් විවිධ ව්‍යාපෘති ඔස්සේ බොහෝ දෙනාගේ ජීවිතවල යහපත් වෙනසක් සිදු කළ සහ වෙනසක් කිරීමට තවදුරටත් වෙර දරන බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා නතාෂා බොරලැස්ස මහත්මිය තමයි මෙවර වියමන් ටීවී ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනෙන් ඔයාලා හමුවට එන්නේ.

“මම බ්‍රැන්ඩික්ස් අධ්‍යක්ෂ මණ්ඩලයේ නතාශා බොරලැස්ස වෙන්න කලින් මට දීර්ඝ ගමනක් තිබුණා. මම වැඩිමහල් දියණියක්, අක්කා කෙනෙක්, බිරිඳක්, අම්මා කෙනෙක්, මම සාමාන්‍ය කාන්තාවක්. මම ඇත්තෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න එකම කාන්තාව වීම ගැන ගොඩක් සතුටුයි.

ඒ වගේ තත්ත්වෙකට මට එන්න ලැබීම සම්බන්ධයෙන් මුලින්ම මතක් කරන්න ඕන මගේ අම්මව. ඉතාමත් අඩු වයසෙදි පොඩි ගෑනු ළමයෙක් වුණ මට අම්මා තමයි පෙන්නලා දුන්නේ ‘මට ඕනම දෙයක් කරන්න පුළුවන්’ කියන එක. මම ඇත්තටම මාව විතරක් නෙමෙයි නියෝජනය කරන්නේ, මම බ්‍රැන්ඩික්ස් සමූහයේ ඉන්න සියලුම කාන්තාවන් නියෝජනය කරනවා. ඇත්තටම මට ඒ ගැන හරිම සතුටක්, ආඩම්බරයක් දැනෙනවා.

මම ඇඟලුම් කර්මාන්තයේ අවුරුදු 27ක් විතර වැඩ කරලා තියෙනවා. මම කවදාවත් මගේ පවුලේ වගකීම්, කාර්යාලයේ වගකීම් අත්හැරියේ නෑ. පෞද්ගලික ජීවිතය, රාජකාරි ජීවිතය හරියට බැලන්ස් කරන්න. කවදාවත් හිතන්න එපා යම්කිසි අවස්ථාවක අපි තෝරාගැනීමක් කරන්න ඕන කියලා. අපිට දෙපැත්තම හරියට බැලන්ස් කරලා ජයගන්න පුළුවන්.

පොඩි කාලේ ඉඳලා මම ඉතාමත් ආස දෙයක් තමයි චිත්‍ර අඳින එක. චිත්‍ර අඳින එක විතරක් නෙමෙයි, මගේ ජීවිතය ගත්තොත් ජීවිතයේ හැම අංශයකටම ඒ නිර්මාණශීලී ගතිය ගේන්නෙ කොහොමද කියලා මම බලනවා. මොකද අපි ඉපදෙනකොට අපිට ජීවිතේ යම්කිසි පැෂන් එකක් තියෙනවා. මගේ පැෂන් එක තමයි මේ නිර්මාණශීලී ගතිය. අපිට පුළුවන් හැම අවස්ථාවකදීම අපි බලන්න ඕන ඒ පැෂන් එක කොහොමද අනිත් අය එක්ක බෙදාගන්නේ කියලා.

අපේ ජීවිතයේ හැම අවස්ථාවකම ගැටලු ගොඩක් තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම අපි ඒ ගැටලු ගැන විතරක් කල්පනා කළෝතින් අපිට එතැනින් විසඳුමක් ලැබෙන්නෙ නෑ. ඒත් අපි හැමතිස්සෙම හිතුවොත් මම ධනාත්මක ආකල්පයකින් වැඩ කරනවා, මගේ අරමුණ ගැන හිතනවා කියලා, ධනාත්මක ආකල්ප තමයි අපිව මෝටිවේට් කරන්නේ. මගේ ඔළුවෙ නෙගටිව් දේවල් තිබුණොත් ප්‍රතිඵලයත් නෙගටිව්. ඒත් මම පොසිටිව් නම් මොන අභියෝග තිබුණත් මට ලැබෙන ප්‍රතිඵලයත් පොසිටිව්.”