"අපේ සැලසුම් වෙනස් කරලා හරි අපි අපේ ඉලක්ක කරා යන්න ඕනි"

පුද්ගලයෙක්ට තමන්ගේ ඉලක්ක කරා යන්න අධිෂ්ඨානයක් විතරක්ම තිබුණට මදි. ඒ වෙනුවෙන්ම, ඒ අධිෂ්ඨානශීලී ගතියටම ගැළපෙන විශේෂ ගුණාංග තියෙන පෞරුෂයක් තියෙන්නත් ඕනි. එවන් විශේෂ ගුණාංග වලින් පිරුණු පෞරුෂයකින් යුතුව තමන්ගේ ඉලක්ක සාර්ථකව සම්පූර්ණ කරපු කෙනෙක් තමයි මෙවර වියමන් TV, ‘ හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනට සහභාගී වුණේ. ඒ තමයි, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමූහ මානව සම්පත් කළමණාකාරිණී සවින්දිකා යාපා මෙනෙවිය.

“සවින්දිකා යාපා කියන්නෙ, සරල, අත්දැකීම් ලබා ගැනීමට කැමති, ස්වාධීන චරිතයක්.” සවින්දිකා මෙනෙවිය අපට ඇයව හඳුන්වලා දුන්නේ ඒ විදියට. ඇයගේ ස්වාධීන චරිතයට මූලිකම හේතුව කුඩා කාලයේදී ඇගේ දෙමාපියන් ඇයට ලබාදුන් නිදහස බවත් ඇය අප සමඟ කියන්නට අමතක කළේ නෑ.

ඇය මාතර සුජාතා බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව ඇය වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකාරණ හා වාණිජ පීඨයට තේරී පත් වනවා.

“දෙදාස් දහය වසරේ තෙවන වසරේ ඉගෙනුම ලබන කාලයේදී ඉන්ටර්න්ෂිප් එක සඳහා මම බ්‍රැන්ඩික්ස් එකට සම්බන්ධ වී අද වන විට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමූහ මානව සම්පත් කළමණාකාරිණිය ලෙස කටයුතු කරනවා.”

වැඩ ලෝකයට විතරක්ම නොවේ, සාමාන්‍ය එදිනෙදා ජීවිතයටත් අගනා යැයි ඇය සලකන, පුද්ගලයෙකුගේ තිබිය යුතු ලක්ෂණ ඇය අපත් එක්ක මේ විදියට බෙදාගත්තා.

“ස්වාධීනත්වය කියන්නෙ ඕනෑම පුද්ගලයෙකුට වැදගත් වෙන, ඒ වගේම කාන්තාවකට නම් සුවිශේෂී  ගුණාංගයක්. කාන්තාවකට ස්වාධීනව තමන්ගේ කටයුතු කරගෙන යාමට පුළුවන් නම්, ඒ නිසා ජීවිතය පහසුවෙන් ගත කිරීමට පුළුවන් වෙනවා.”

“පුද්ගලයන් විදියට ජීවිතයේ ඉලක්ක තියෙනවා. අපි ඒ ඉලක්ක කරා යන්න ඕනි. ඉලක්ක කරා යන ගමනේදී අපට විවිධ සැලසුම් තියෙනවා. නමුත් අපි කිසිසේත්ම  අපේ ඉලක්කය වෙනස් කරන්න හොඳ නෑ. සැලැස්ම වෙනස් කරලා හරි අපේ අපේ ඉලක්කය කරා යන්න ඕනි.”