"මගේ බලාපොරොත්තුව මටම කියලා කලාගාරයක් හදාගන්න එක"

බ්‍රැන්ඩික්ස් ආයතන සමූහයේ අපේ පිරිස, ඇඟළුම් මැසීමට එහා ගියපු දක්ෂතා ගොඩකින් පිරිපුන් පිරිසක් බව නම් සැකයකින් තොර කතාවක්. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න මහත්මියත් ඒකට හොඳම උදාහරණයක්.

සිතුවම් කලාවට උපන් හපන්කම් කියන ඇය සේවය කරන්නේ බ්‍රැන්ඩික්ස් මීරිගම 02 ආයතනයේ. එම ආයතනයේ මැහුම් ශිල්පිනියක් විදියටයි මේ වන විට සේවය කරන ඇය නමින්, රාණි.

“මං ඉස්කෝලෙ යන කාලෙ මට අහන්න ලැබිච්ච සින්දු වලට මං චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඒ මං ඇන්ද චිත්‍ර වලට මට හරි ආස හිතුණා. ඒ හින්දා මං දිගටම චිත්‍ර ඇන්දා.” ඇගේ චිත්‍ර ඇඳීමේ ඉතිහාසය ඇය අපිත් එක්ක බෙදාගත්තෙ ඒ විදියට.

බ්‍රැන්ඩික්ස් වියමන් චිත්‍ර තරඟ වලදී ජයග්‍රහණ ලබන ඇය ඊළඟට ආයතනයේ සිටින සහෝදර සාමාජික සාමාජිකාවන්ගේ සහ කළමණාකාරීත්වයේ පුද්ගල රූප සිතුවම්කරණයට පෙළඹෙනවා.

ඒ ලැබෙන හුරුවත් සමඟ, ඇය සිය ජීවිතයේ තවත් අලුත් පරිච්ඡේදයක් සටහන් කරනවා; ඒ,වෘත්තීය චිත්‍ර ශිල්පිනියක් ලෙස වැඩ කටයුතු ආරම්භ කිරීමෙන්.

“මට මේක මගෙ රැකියා ජීවිතේ ලැබිච්ච ලොකු අත්වැලක්.” ඇගේ කතාවේ අලුත් පරිච්ඡේදය ගැන ඇය සඳහන් කළේ එහෙම. ඇගේ නිර්මාණශීලී හැකියාව ගැන හොඳින්ම තේරුම් ගත්ත බ්‍රැන්ඩික්ස් මීරිගම 02 ආයතනයේ කළමණාකාරීත්වය ඇයට තමන්ගෙ වෘත්තිමය සිතුවම්කරණය ඉස්සරහට අරගෙන යන්න අවස්ථාවල් රැසක් උදා කරලා දෙනවා.

“මං අපේ ආයතනෙ විවේකාගාරෙට ගොඩක් චිත්‍ර ඇන්දා. ඒ වගේම ආයතනෙන් කරන වැඩසටහන් වලදිත් මං චිත්‍ර අංශෙන් වැඩ කරනවා. පෝය දවස් වලට කරන තොරණටත් මං තමයි චිත්‍ර අඳින්නෙ.” බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ඇයට ලැබුණු අවස්ථා ගැනයි ඇය ඒ විදියට අපට කීව්වෙ.

ඇය අපට කිව්ව විදියට ඇයගේ අනාගත බලාපොරොත්තුවත්, ඇගේ චිත්‍ර ශිල්පයත් එක්ක බැඳුණු බොහොම සුන්දර එකක්. ඒ තමයි, ඇගේ සැඳෑ සමය ගත කරන්න ඇගේ නිවස තුළම කලාගාරයක් නිර්මාණය කරගන්න එක.

ඉතිං, රාණි මහත්මියගේ මේ හැකියාව බ්‍රැන්ඩික්ස් අපි දකින්නේ බ්‍රැන්ඩික්ස් මීරිගම 02 ආයතනයට විතරක් නෙවෙයි මුළු රටටම ලැබුණු සුවිශාල තිළිණයක් විදියට. ඉතිං ඇගේ සියළු අනාගත බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට බ්‍රැන්ඩික්ස් මීරිගම 02 ආයතනයේ කළමණාකාරීත්වයත්, මුළු මහත් බ්‍රැන්ඩික්ස් සමූහයත් මේ අති දක්ෂ චිත්‍ර ශිල්පිනියට හද පිරි සුබාශිංසන එකතු කරනවා.