මම කරන වැඩේ, කරන වෙලාවට හරියටම කරනවා

මෙවර, වියමන් ටීවී හඳුනාගත්තොත් ඔබ මා වැඩසටහන තුළින් අදහස් බෙදා හදා ගැනීමට අප සමඟ එකතු වෙන්නේ බ්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් හී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උපුල් උභයවංශ මහතා. ඔහු, ගමේ සිට නගරය දක්වා ඔහු ආ ගමනේ මතකය ආවර්ජනා කරමින් කතා බහ ආරම්භ කළා.

“ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වෙ පාස් වෙලා, කොළඹට ආවා. ඒක මට ලොකු අත්දැකීමක් උනා. මුලින් කොළඹට එනකොට ලොකු චකිතියක් තිබුණා. ඒ වගේම කොළඹට එනකොට ලොකු බයක් තිබුණා. ටික කාලයක් යනකොට මං ඒකට හුරු වුණා.”

“මට ඉස්කෝලෙ ගිය කාලෙ, තනියෙන් හිටිය කාලෙ මට පිටුවහලක් උනා. මට උපරිම නිදහසක් තිබුණා. ඒත් අම්මගෙයි තාත්තගෙයි ෆ්‍රේම් වර්ක් ඇතුළෙ වැඩ කරපු හින්දා කොහොමද තනියෙන් ජීවත් වෙන්නෙ කියන එකට හොඳ අඩිතාලමක් වැටුණා.” සාර්ථක ජීවන ගමනකට ඔහුට අඩිතාලම වැටුණු හැටි ඔහු අප සමඟ බෙදාගත්තේ එහෙම.

“මං බොහොම සාමාන්‍ය කෙනෙක්. මං ගොඩක් මිනිස්සුන්ව විශ්වාස කරනවා. ඒ වගේම ඕනම කෙනෙක්ට මාව විශ්වාස කරන්නත් පුළුවන්. ඒක මට ගොඩක් දේවල් වලට උපකාරී උනා.” ඔහුගේ වචන වලින්ම ඔහුගේ නිහතමානී බවත් අපට පැහැදිලි වුණා.

මිනිසෙකුට සාර්ථක වීමට නම් කැපවීම් බොහොමයක් සිදු කරන්න වෙනවා. ඔහුගේ කැපවීම හා දැක්මත් ඔහු අප සමඟ බෙදාහදා ගත්තා. “මං මොනවා හරි දෙයක් කරන්න ගත්තොත් මං ඒකට උපරිම දායකත්වයක් ලබා දෙනවා. හැම වෙලාවෙ ඒක උපරිමයක් කරලා ඒකෙ රිසල්ට් එකක් දකින එක තමා මගේ බලාපොරොත්තුව.රැකියාවෙ ප්‍රමෝෂන් බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මං කරන වැඩේ කරන වෙලාවට හරියටම කරනවා. ඒක මගෙ පැෂන් එක.”

“මං පළවෙනියට පටන් ගත්ත දවසෙ ඉඳලා අද වෙනකම් රැකියාවට යනකොට මට කම්මැළි ගතියක් දැනිලා නෑ. කරන වැඩේට ආදරේ කිරීම මගේ ගමනට ලොකු උදව්වක් උනා. මං ලොරි වලට බඩු පටවලත් තියෙනවා, ෂිප්මන්ට් දාලත් තියෙනවා. ඒක ඇඟෙන් එන, ආසාවෙන් එන දෙයක්.” තමා කරන දේ කැමැත්තෙන්, අලස නොවී සිදු කිරීම කෙතරම් වැදගත් ද යන්නත් ඔහුගේ කතාවෙන් අපට පැහැදිලි උනා.

“මොන දේ කරත් ඒ දේට ආදරයෙන්, උවමනාවෙන් කරන්න. මං ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි තමන් තමන්ම වෙන්න ඕනි කියන එක. මේ සංකීර්ණ සමාජෙ ඇතුළෙ තමන් කවුද කියන එක තේරුම් ගත්තොත් හිත සතුටින්, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්.” ලෙස අවසන් වශයෙන් බ්‍රැන්ඩික්ස් ප්‍රජාවට පමණක් නොව සෑම දෙනෙක්ටම වැදගත් වන පණිවුඩයකුත් ඔහුගේ කතාවෙන් ඔහු ලබා දුන්නා.