රසවත් ගුණවත් ටොස් සැලඩ් එකක් හදාගන්නේ  මෙහෙමයි!

කායික සුවතාව සහ මානසික සුවතාව රැකගන්න විදිය කියලා දෙන්න තමයි ඔහු අද බ්‍රැන්ඩික්ස් වියමන් ටීවී එක්ක එකතු වෙන්නෙ. ඔහු කවුද? ඔහු ඔබ කවුරුත් අඳුරන ප්‍රවීණ සූපවේදී ලොයිඩ් මහතා.

ඔහු මුලින්ම විස්තර කළේ දිනපතා පෝෂ්‍යදායී කෑම වේල් සකසා ගත යුතු ආකාරය. ‘උදේ ආහාර වේලකට කඩල, කව්පි වැනි ධාන්‍ය වඩාත්ම යෝග්‍යයි. උදේට තන්තු සහිත කෑමක් ආහාරයට ගැනීම ඉතාමත් යෝග්‍ය නිසා ඒ වගේ ආහාර වේලක් සකසාගන්න පුළුවන් නම් හොඳයි. දහවල් ආහාරයට නම් රතු බත් එක්ක කොළ පැහැති එළවළු ව්‍යාංජනත්, රාත්‍රී ආහාරයට තමන් කැමති එළවළුවක් එකතු කරගත්ත රොටියක් පිළියෙල කරගන්න පුළුවන්. ඒ වගේම තන්තු සහිත ආහාර ගැනීම සෞඛ්‍යයට ඉතාම හොඳයි.’

ඉන්පසුව, ඔහු රසයෙන් වගේම ගුණයෙනුත් පිරුණු සැලඩ් එකක් පිළියෙල කරගන්නා හැටි බොහොම අපූරුවට පෙන්නලා දුන්නා.

‘ඔයාලට ටොස් සැලඩ් එකක් හදාගන්න හැටි මං කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපි ලෙටූස් කපන්නෙ නෑ. අපි ඒවා පොඩි පොඩි කෑලි වලට කඩනවා. අපට පුළුවන් තමන් කැමති එළවළු වගේම පලතුරක් උනත් මේ සැලඩ් එකට එකතු කරගන්න. මේ සලාදෙට තක්කාලි කොටු විදිහටත්, ළූණු රවුම් විදියටත් කපාගන්න ඕනි. මේ සලාදෙට අපි තක්කාලි, ළූණු, කොළ පිපිඤ්ඤා එකතු කරගන්නවා. සැරට ඕනි නම් මාළු මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ලුණු, ගම්මිරිස්, ඔලිව් ඔයිල්, ස්වල්පය බැගින් එකතු කරගන්නවා. ඒ වගේම දෙහි ස්වල්පයකුත් එකතු කරගන්නවා. අන්තිමට, මේ ටික සේරම ලොකු භාජනේක දාලා ටොස් කරගන්න ඕනි.’

ඒ වගේම කෑම පිළියෙල කිරීමට අවශ්‍ය උපාංග පාවිච්චි කිරීමේදී අනුගමනය කරන්න ඕනි ආරක්ෂක  පිළිවෙත් අප එක්ක බෙදාගන්නත් ඔහු අමතක කළේ නෑ.