හිත සනීප කරගන්නේ කොහොම ද?

ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව සිදු කෙරෙන මේ වැඩසටහනේ දි අපි කතා කරන්නෙ මානසික සෞඛ්‍යය ගැන. මානසික සුවතාව කියන්නෙ අපි එදිනෙදා කරන වැඩත් එක්ක අපේ මනස තෘප්තිමත් කරගෙන අපේ ජීවිතය තෘප්තිමත් කරගැනීමයි. මේ ජීවිත තෘප්තිය ගිලිහී යාම අපි මානසිකව අසනීප වෙනවා කියලා හඳුන්වන්න පුළුවන්.

අපි කායික රෝග වලට ඉක්මණින් ප්‍රතිකාර ලබා ගන්නවා වුණාට මානසිකව අසනීප වූ විට වෘත්තීමය ප්‍රතිකාර ලබා ගන්නවා අඩුයි. ඒකට හේතුව මානසික ගිලන් වීම ගැන සමාජයේ පවතින මිථ්‍යා මත. උදාහරණයක් විදියට එහෙම බෙහෙත් ගන්න ගියොත් වටේ ඉන්න අය ඒ ගැන වැරදියට හිතයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම මානසික සෞඛ්‍යය ගැනත්, ඇයි අපි මානසික සුවතාව ගැන පවත්වා ගත යුත්තේ කියන එක ගැනත් තියෙන දැනුම ඉතාම අඩුයි. ඒ නිසා අපි ඉතාම කාර්‍යබහුල උනත්  තම තමන්ට වෙලාවක් වෙන් කරගෙන පොතක් කියවන එක, සිංදුවක් අහන එක වගේ තමන් කැමති පුංචි දෙයක් කරන්න පුළුවන්.

බ්‍රැන්ඩික්ස් සමූහයෙන් නම් අපේ සාමාජික සාමාජිකාවන්ගේ මානසික සුවතාව ඉහළ නංවන්න විවිධ වැඩසටහන් පවත්වනවා. අවශ්‍ය කෙනෙක්ට අවශ්‍ය වෙලාවක කතා කරන්න සෑම බ්‍රැන්ඩික්ස් ආයතනයකම මනෝ උපදේශන අංශයක් පිහිටුවලා තියෙනවා. තමන්ගෙ පුද්ගලික ප්‍රශ්නයක් වුණත් දුරකථනය හරහා පවා මනෝ උපදේශන අංශය එක්ක කතා කරන්න පුළුවන්. මේ හරහා මානසික සුවතාව ඇති කරගැනීමට අවශ්‍ය මග පෙන්වීම සිදු කරනු ලබනවා.

පළමුවන කොටස
දෙවන කොටස

සම්බන්ධතා කියන්නෙ ජීවිතේ බලාපොරොත්තු එක්ක ඉස්සරහට යනකොට අත්‍යාවශ්‍යම කාරණාවක්. සුවපත් මනසක් පවත්වා ගෙන යෑමටත් ඒ සම්බන්ධතා බෙහෙවින්ම බලපෑම් කරනවා. එහි දී යහපත් සම්බන්ධතාව කියන දේ අතිශයින්ම වැදගත්. අදාළ සම්බන්ධතාව පවතින පාර්ශවයන්, ඔවුනොවුන්ට ගරු කරනවා නම්, ඔවුනොවුන්ට අවංක වෙනවා නම්, ඔවුනොවුන් අතර යහපත් සන්නිවේදනයක් පවත්ව ගන්නවා නම්, සම්බන්ධතාව ඉදිරියට පවත්වාගෙන යාමට උනන්දුවක් උවමනාවක් දක්වනවා නම් එවැන්නක් යහපත් සම්බන්ධතාවක් කියලා හඳුන්වන්න පුළුවන්. අප පවත්වා ගන්නා සම්බන්ධතා වලදී අපට ලැබෙන්නේ පීඩනයක්, මානසික අපහසුතාවක් නම් එවැනි සම්බන්ධතාවක් අයහපත් සම්බන්ධතාවක් කියලා හඳුන්වන්න පුළුවන්.

යුවළක් අතර පවතින සම්බන්ධතාවක් විවාහයක් දක්වා ගෙන යාමේ දී ගෘහස්ථ හිංසනය ගැනත් දැන සිටිය යුතුයි. කෙනෙක් කායිකව, මානසිකව, ආර්ථිකව, වාචිකව, ලිංගිකව සමීප සම්බන්ධයක් තියෙන පුද්ගලයෙකු නිසා හිංසනයට පත් වෙනවා නම් එවැන්නක් ගෘහස්ථ හිංසනය ලෙස සලකනු ලැබෙනවා.

මෙවැනි තත්ත්වයන්ට මුහුණ දී සිටින පුද්ගලයින්ට අප උපකාර කළ යුතුයි; ඔවුන්ට ඇහුම්කන් දිය යුතුයි. ළඟම තියෙන පොලීසියෙන්, රෝහලෙන් වගේම ඔබ සේවය කරන බ්‍රැන්ඩික්ස් ආයතනයේ මනෝ උපදේශන අංශයෙනුත්, මේ හැර, කාන්තා පිහිට නමැති ආයතනයෙනුත්, නීති ආධාර කොමිසමෙනුත්, ගෘහස්ථ හිංසනයට පත් වී සිටින කාන්තා, පුරුෂ දෙපාර්ශ්වයටම සේවය ලබාගත හැකියි.

ඒත් අපේ සමීපතමයිනුත් අපේම අතින් හිංසනයට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ සිතුවිලි, ක්‍රියාවන් හා වචන වලිනුත් අපි අනෙක් අයව පීඩාවට පත් නොකළ යුතුයි. තවත් කෙනෙකුගේ හිතට සහනයක් දෙන දෙයක් කතා කරන්නට හුරු විය යුතුයි.