නොදන්න පොත්

‘කසුන් දැන් වයස කීයද බං, තිහත් පැනලා නේ, කෙල්ලෙක්වත් නෑ නේ බං, හරි නං උඹට දැන් ළමයි දෙන්නෙක්වත් ඉන්න ඕනි’

හැමදාම වගේ නර්මදා කසුන්ව බයිට් එකට අල්ලගත්තා. කට්ටියම පාරෙ හිටියෙ ෆැක්ට්‍රියට උදේ යන බස් එක එනකං. නර්මදා, සුහර්ෂි, ප්‍රාර්ථනා, විරාගි යාළුවො හතර දෙනා නැවතිලා හිටියෙ එක බෝඩිමේ. කසුන්ගෙ ගෙවල් තිබ්බෙ ඒ ළඟමයි. ඒ හින්දා කට්ටියම උදේට යද්දී හවසට එද්දී මුණ ගැහුණා. නර්මදා මොන මොනවා කිව්වත් කසුන් නෙවෙයි කවදාවත් වචනයක් කිව්වෙ. හිනා වෙලා ඔළුව වනලා ඉන්නවා මිසක් කසුන් නර්මදාගෙ කතා වලට උත්තර බැන්දෙ නැති තරම්. කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවාම අවශ්‍ය උත්තරේ දීලා කටපියන් ඉඳපු කසුන් හරි නිශ්ශබ්ද කොල්ලෙක්. ඒ උනත් කසුන්ගෙ හිත හොඳ‍යි කියලා සෙක්ෂන් හෙඩ්ගෙ ඉඳලා පිරිසිදු කරන මනුස්සයා වෙනකං හැමෝම දැනගෙන හිටියා.

‘ඇයි බං උඹ හැමදාම අර කසුනව බයිට් කරන්නෙ? ඌ අහිංසක කොල්ලෙක්නෙ.’ සුහර්ෂි එක දවසක් එහෙම ඇහුවෙ නර්මදාගෙ සමච්චල් කතා අහගෙන ඉන්න බැරි තැන.

‘ආතල් එකට බං ආතල් එකට, බලපන්කො උගෙ මූණට එන නෝංජල් හිනාව මොනවහරි කිව්වම, ගෑනි වගේ.’  නර්මදා එහෙම කියලා මහ හයියෙන් හිනා උනා.

‘අනේ එහෙම නං නෝංජල් හිනාවක් නෙවෙයි ඒක. ඌ අහිංසකයි.’ විරාගි කිව්වෙ ඇත්තටම තරහෙන් බව තේරුණේ සුහර්ෂිටයි, ප්‍රාර්ථනටයි විතරක් නෙවෙයි.

‘ඇයි මොකෝ, උඹට දැන් නිසල්ව එපා වෙලා ද, කසුන්ව දාගන්න ද හදන්නෙ?’ නර්මදා විරාගිට විහිළු කළේ හරිම සවුත්තු විදියට. එදා ඉඳන් කවුරුවත් නර්මදාගෙ කතා වලට මුකුත් කියන්න ගියේ නෑ. තියෙන ප්‍රශ්න මදිවට නර්මදාගෙ හැකර කටෙන් කියවෙන කතාවක් නරක විදියට පැතිරුණොත් ඉඳලා හමාරයි කියලා කට්ටියට තේරිලා තිබුණෙ. ඒ හින්දා කසුන් ගැන දුකෙන් උනත් අනෙක් තුන් දෙනා කට පියාගෙන හිටියා. නර්මදා කසුන්ව බයිට් එකට ගන්න එකත් අඩුවක් උනේ නෑ. සමහර වෙලාවට කසුන්ගෙ ඇඳුම්, කොණ්ඩ මෝස්තරේ ගැන කියලා විහිළු කරන තරමට මේ කතා දුර දිග ගියා. කසුන් ලස්සනට පිළිවෙලට අඳින එක ගැන නර්මදාට ඔච්චර මොකක්ද තියෙන අමාරුව කියලා අනික් කට්ටිය එයා නැති වෙලාවට කතා උනා. නර්මදා කොල්ලො ඉන්න තැන් වලදි නං කසුන්ට මුකුත් කියන්න ගියෙ නෑ. කසුන්ම කිව්වෙ නැත්තං මේ තුන්දෙනා උනත් නර්මදාගෙ විහිළු ගැන එහෙම කියව කියව යන්නැති බව නර්මදා හොඳටම දැනන් හිටිය හින්දා නර්මදාගෙ හොඳ නම බේරිලා තිබුණා. කොහොමින් කොහොම හරි මේ කියන දවසෙ හවස කසුන් බස් එකේ යන්න ආවෙ නෑ.

‘කොයි බං අර නෝංජලයා?’ නර්මදා බස් එකෙන් බැස්සම අනික් කට්ටියගෙන් ඇහුවා. ‘උදේ දැක්කට පස්සෙ දැක්කෙ නෑ.’

සුහර්ෂියි, විරාගියි, ප්‍රාර්ථනයි මූණෙන් මූණ බලාගත්තා මිස මුකුත් නොකීව බව නර්මදාට තේරුණා.

‘ඇයි බං? ඌ පැනලවත් ගිහින් ද දම්මි අක්කා එක්ක?’ නර්මදා ඇහුවෙ හරිම කැත විදියට. දම්මි අක්කා ෆැක්ට්‍රියේ වැඩ කරපු  වයස හැටකට විතර ළං වෙච්ච ගෑනු කෙනෙක්. එයා කසුන් ගැන හොයලා බැලුවෙ තමන්ගෙම දරුවෙක් ගැන බලනවා වගේ. නර්මදා එච්චර කැත කතාවක් කිව්වෙ ඒකයි. තුන්දෙනා ආයෙමත් මූණින් මූණ බලාගත්තා.

‘දැන්වත් උඹෙ ඔය සවුත්තු කතා නවත්ත ගනිං නමා, උඹ දන්නවද කසුන් පේන්න නැත්තෙ ඇයි කියලා?’ ප්‍රාර්ථනාගෙ කටහඬ මහා තරහවකින් පිරිලා තිබ්බෙ. එයා කවදාවත් තරහෙන් කතා කරන කෙනෙක් නෙවෙයි. ඒ හින්දමද මන්දා පුදුම උන නර්මදාගෙ කටත් බාගෙට ඇරුණා. ඒත් වචනයක්වත් පිට උනේ නම් නෑ.

‘කසුන් මෙහෙ නැවතිලා ඉඳලා තියෙන්නෙ නෑයෙක්ගෙ ගෙදරක. උගෙ ගෙවල් මෙහෙ නෙවෙයි දුර. උගෙ තාත්තා නෑ. අම්මත් ලෙඩින්. මල්ලි 10 වසරෙ. මූ තමයි ඒ දෙන්නව බලා කියාගන්නෙ. අද උදේ මල්ලි ඇක්සිඩන්ට් වෙලා. කසුනා ආපිට ගෙදර ගිහින්.’ ප්‍රාර්ථනා තරහෙන් දත්මිටි කෑවා.

‘උඹලා කොහොමද දන්නෙ?’ නර්මදා ඇහුවෙ හරිම අසීරුවෙන්.

‘දන්නෙ? දන්නෙ ඉතිං උඹ දැන් අර පද හදන දම්මි අක්කා තමයි අපටත් කිව්වෙ. දම්මි අක්කගෙ නංගියි කසුන්ලයි එක ගමේ. ඒ මාර්ගෙන් තමයි කසුන් මෙහෙ වැඩටත් ඇවිත් තියෙන්නෙ.’ විරාගිත් කිව්වෙ තරහෙන්.

නර්මදා වචනයක් කිව්වෙ නෑ. මොනවා කියන්න ද කියලත් නර්මදාට හිතාගන්න බැරි උනා.

‘මිනිස්සුන්ට ඉන්න දීපන් නර්මදා, මිනිස්සු කියන්නෙ වැහිච්ච පොත් වගේ ජාතියක්, උඹ පෙරළලා අග ඉඳන් මුලට කියවලා බැලුවත් නොකිව්ව කතා, නොලියවෙච්ච, හැංගිච්ච කතා තියෙන්න පුළුවන්. උඹෙ හැකර කටෙන් කියන කතා වලට වෙන එකෙක් නං හොඳවයින් දෙකක් කියලා. ඒත් කසුනා මුකුත් නොකිව්වෙ ඌ ඇත්තටම හොඳ කොල්ලා හින්දා. උඹ හිතුවෙ ඒක උගෙ නෝංජල්කම කියලා.” සුහර්ෂි කිව්වෙ පුදුම ඉවසීමකින් කියලා කට්ටියටම තේරුණා.

‘අපිත් මොන යාළුවොද බං, අපිත් ඔහේ කටවල් වහගෙන හිටියනෙ,  ඌ මොන තරම් අවුලින් වෙන්නැද්ද හිටියෙ කියපංකො.’ ප්‍රාර්ථනා කිව්වෙ ලොකු හුස්මක් හෙළන ගමන්.

අනික් කට්ටිය හෙමීට කටුකුටු ගානවා ඇහෙද්දි නර්මදා මහා පසුතැවිල්ලකින් එහා පැත්ත බලාගත්තා. කසුන්ගෙ අහිංසක මූණ නර්මදාගෙ ඇස් ඉස්සරහින් මැවි මැවී පෙනුණා.

Facebook
Facebook