“දැන් ඉතිං දරුවෙක් හදන්න කාලෙ හරි නේද?”
සමාධි හිටියෙ කුස්සිය අස් කරන ගමන්. දවස් පහම වැඩට යන නිසා මුළු ගෙදරටම ඩීප් ක්ලීන් එකක් දෙන්න නම් සමාධිට සෙනසුරාදා වෙනකම් ඉන්න වෙනවා. සෙනසුරාදටත් වැඩක් වැටුණොත් ඉරිදට තමයි. සෙනුරට ගෙදර එන්න ලැබෙන්නෙ මාසෙට දෙසැරයයි. එහෙම ආපුදාට සෙනුරත් ඕවට උදව් වෙනවා. එහෙම අස් කර කර ඉන්නකොට තමයි නැන්දම්මා එක පාරටම එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ. දරුවෙක් හදන්න කියන්නෙ දරුවො නැති හින්දා නෙවෙයි. පොඩි එකාට තවම මාස හතයි. දරුවට මාස හය පැන්න දා ඉඳලම නැන්දම්මා මන්තරේ වගේ කියවන්නෙ ආයෙත් දරුවෙක් හදන්නලු කියලා.
“ඒ කිව්වෙ අම්මෙ?” සමාධි ඇහුවෙ ඒ තරම් උනන්දුවකින් නෙවෙයි.
“ඒ කිව්වෙ අම්මෙ කියලා අහන්නෙ මොකක්ද සමාධි, මොන සිහියෙන් ද ඉන්නෙ, මං කිව්වෙ දරුවෙක් හදන්න කියලා, දැන් පොඩි එකීටත් අවුරුද්දක් වෙන්න ළං වෙනවා. ඒ දරුවට පාළුවට තනියටත් එක්ක තව දරුවෙක් ඕනිමයි. ඇරත් නුගපිටිය වළව්වෙ නම අරන් යන්න කොල්ලෙක් ඕනිමයි. මොකෝ සෙනුරට කියලත් තව සහෝදර සහෝදරියො ඉන්නවැයි. එහෙව් එකේ සෙනුරට පුතෙක් නොහිටියොත් කවුද පරම්පරාව අරන් යන්නෙ? මේ තියෙන දේපොළ කන්දරාව සේරම පිටගොල්ලකට අයිති වෙනවා බලන් ඉන්න පුළුවන් යැ, ඒකයි මං මේ කියන්නෙ, දැන් ඉතිං පමා කරන්න ඕන්නෑ, තව දරුවෙක් හදන්න කාලෙ හරි”
අම්මා කිව්වෙ අණක් දෙනවා වගේ. ඒත් සමාධි නෙවෙයි වචනයක් කිව්වෙ. කට පියාගෙන කර කර හිටිය වැඩේම කර කර හිටියා. සමාධි වයසක මිනිස්සුන්ට වචනයක්වත් කියන්න කැමති නෑ. විශේෂයෙන්ම නැන්දම්මට මොනවත් කියන්න කැමති නෑ. නැන්දම්මා එක විදිහක්. එයාට ඕනි දේ කෙරුණෙ නැත්තං විනාසයි. තරහෙන් තියා හොඳින්වත් නැන්දම්මගෙ අදහස් ප්‍රතික්ෂේප කරන දෙයක් කියන්න සමාධි පුදුම තරම් බය වුණා. හොඳ වෙලාවට සෙනුර තමන්ගෙ අම්මා කවුද කියලා දැනන් හිටියා. ඔය විස්තර කියලමයි සෙනුර සමාධිව කැන්දන් ආවෙ. ඒ දවස් වල හා කියලා ආවට මොකද සමාධිට දැන් නං තිත්ත වෙලා තියෙන්නෙ. සෙනුර ඉස්සරහ නැන්දම්මා මේ මොනවත් කියවන්න එන්නෑ. නැති තැන තමා ඔක්කොම. සමාධි සෙනුරට මේවා වැඩිපුර කියන්න යන්නැත්තෙ සෙනුරට අම්මා එක්ක තරහ යයි කියන බයට.
සමාධිට දරුවා හම්බවුණු දවස් මතක් වෙලා හීල්ලුණා. දරුවා ඉපදුණේ අඩු මාසෙන්. දොස්තරලා ලොකු සැකේකින් හිටියෙ ජීවත් කරවන්න බැරි වෙයි කියලා. ඉපදිලා මාස දෙක තුනක් යනකං ඉස්පිරිතාලෙ. කොහොමින් කොහොම හරි කෙල්ලගෙ ජීවිතේ බේරුණා. ඒත් කොරේ පිටට මරේ කියලා සමාධිට කිරි එරුණෙ නෑ. දරුවා හැදුණෙ පිටි කිරි වලින්. දවසක් දා සෙනුර ගෙදර නෑ කියලා හිතාගෙන අම්මා කියපු ඇනුම්පද වගයක් ඇහිලා සෙනුර අම්මට තදින් කතා කරපු හැටි සමාධිට තාම මතකයි. කොහොමත් සමාධිට ගෙදර යන්නත් බෑ. සමාධිලාගෙ ගෙවල් හුඟක් දුර. ඇරත් මේ බංගසාල වලව්වෙ මේ මනුස්සයව කොහොමද තනියෙන් දාලා යන්නෙ? සමාධි හිතුවෙ එහෙම. දරුවා ලැබුණ දා ඉඳලා ඇනුම්පද කියවිල්ල ඇරෙන්න ලැබුණ උදව්වක් නැති උනාට මේ සෙනුර වගේ ගුණ යහපත් පුතෙක් හැදුව එක ගැන සමාධිට නැන්දම්මා ගැන තිබ්බේ ගෞරවයක්. කොච්චර අම්මට ආදරේ වුණත් අම්මා වැරදි නං සෙනුර කවදාවත් අම්මගෙ පැත්ත ගත්තෙත් නෑ, ඒක කියන්න පසුබට වුණෙත් නෑ. සෙනුර ඉන්න වෙලාවට අම්මා කට ඇරියෙ නැත්තෙ ඒකයි. සෙනුර හැමතිස්සෙම කිව්වෙ එක දෙයයි.
“කතා කරන්න ඕනි තැන් වල කතා කරන්න. කෑගහන්න, බණින්න යනවා නෙවෙයිනෙ. අපේ අම්මලා තාත්තලා උනත් මිනිස්සුනෙ. වැරදි වෙන්න පුළුවන්. ඉතිං වැරැද්දක් පෙන්නලා දෙන එක වැරැද්දක්යැ. හෙමින් සීරුවේ කියන්න.”
ඒත් සමාධි මේ තාක් කාලෙකට නැන්දම්මගෙ හිත රිදෙන්න කියලා මොනවත්ම නොකිව්ව තරම්. ඒත් දැන් නං මේ කියවිල්ල හින්දා සමාධි හරිම පීඩාවෙන් හිටියෙ. ඕවා ගැන හිත හිතම සමාධි කුස්සිය මොප් කරන්න පටන් ගත්තා.
**********************************************************************************
හවස් වරුවෙ දරුවට කිරි දීලා, පොඩ්ඩක් නිදි කෙරෙව්වට පස්සෙ සමාධි ලෑස්ති උනේ එයා කර කර හිටිය කෝස් එකේ වැඩ ටික කරන්න කියලා. ප්‍රමෝෂන් ගන්න නං මේවා කරන්න ඕනි. ඇරත් ඒ කෝස් අඳුන්වලා දීලා තිබ්බෙ සමාධි වැඩ කරපු කම්පැනියෙන්මයි. සමාධි ඒක කළේ හරි ආසාවෙන්. ඒ වැඩ කරන්න ඉඳගනිද්දිම අම්මත් ඇවිත් සමාධි ඉස්සරහින් වාඩි උනා.
“මොනවද ළමයො ඔය කරන්නෙ පොත්පත් දිගෑරගෙන?”
“මේ අපේ කම්පනි එකෙන්ම කරන කෝස් වගයක් අම්මා. මාත් එකක් කරනවා. ප්‍රමෝෂන් ගන්න කොලිෆිකේෂන් හදාගන්න පුළුවන්නෙ”
“ඕවට සල්ලිත් ගෙවන්න ඕනිද?”
“ඔව් අම්මා, මේක නං පොඩි එකක් හින්දා විසිපන්දාහයි ගියේ”
“අනේ මන්දා දරුවො, ඔයාලගෙ ඔයාකාර ඕනන්නැති වියදං හින්දා කොච්චරක් සල්ලි නහස්ති වෙනවද කියලා. දැන් තව දරුවෙක් එහෙම හදාගත්‍තම ඕවට වෙලාව තියෙනවයැ. ඇරත් සෙනුර හම්බ කරන ඒවයි, සෙනුරලයෙ තාත්තා හම්බ කරපුවයි මේ තියෙන්නෙ ඕනි තරම්”
සමාධි බලන් හිටියෙ ඔය දරුවො කතාව කියනකම් තමයි. සෙනුරි පොතක් පෙරළනවා වගේ අම්මා දිහා නොබලම කතා කරන්න පටන් ගත්තා.
“කොහොමත් ඉතිං දරුවො හින්දා තමා අම්මෙ මේවා කරන්නෙ. අම්මා කිව්වා වගේ දරුවෙක් ඉක්මනට හදාගන්න ඕනි. දරුවො හිටියාම තමයි ගෙදර එළිය වෙන්නෙ. කොහොමත් අම්මත් ගෙදර ඉන්න එකනෙ. මාත් අම්මට ලේසියට ගෙදර නැවතුණාම අම්මටයි මටයි පුළුවන්නෙ බලාගන්න. අම්මා ළමයි දෙන්නව බලන අතරෙ මට පුළුවන් ගේදොර වැඩ ටික කරගන්න. වැඩට අයව ගන්නත් බෑනෙ, හතළිස්දාහෙන් උඩ පඩි ඉල්ලන්නෙ”
“ම්ම්ම්…” ඒ ඇරෙන්න නැන්දම්මා වචනයක්වත් කිව්වෙ නෑ. “අම්මෝ… කොන්ද” ටික වෙලාවකින් නැන්දම්මා අත් දෙකෙන් කකුල් වලට බර කරලා නැගිට ගත්තේ හීන් කෙඳිරියකුත් එක්ක. සමාධි මුකුත් අහන්නැතුව හිටියෙ ඔය දේ ඔහොම්ම වෙනවා කියලා දන්න හින්දා. අම්මා දරුවෙක්ගෙ වැඩකට උදව්වක් කරන්න කැමති නෑ. වැඩට කෙනෙක් ආවත් පන්න ගන්නකම් මූණ හොඳ නෑ. ඔක්කොම සමාධිම කරන්න ඕනි. වෙලාවකට සෙනුරයි සමාධියි කතා වෙනවා අම්මලා මේ වගේ හිතන්නෙ ඇයි කියලා.
කළුවර වැටීගෙන එද්දි නැන්දම්මා කලින්ම මල් පහන් පූජා කරලා ලෑන්ඩ් ෆෝන් එක ළඟින් වාඩි වුණේ කෝල් එකක් ගන්න කියලා සමාධිට තේරුණා. සමාධි හිටියෙ රෑට කන්න හදන්න ලෑස්ති වෙන ගමන්. සමාධිට අම්මා කියන ඒවා ඇහෙනවා. කෝල් එක අරන් තිබ්බෙ සෙනුරගෙ පුංචි අම්මට. ඒ කියන්නෙ නැන්දම්මගෙ නංගි නන්දා පුංචිට. සමාධි දන්නවා මොකටද මේ හදිස්සියේ කෝල් එක ගත්තෙ කියලා. ටික වෙලාවකින් සමාධිට තේරුණා එයා අනුමාන කරපු දේ හරි කියලා.
“අනේ නෑ නංගියේ, හිතලා කෙඳිරිගානවා නෙවෙයි. කෙඳිරි ගෑවෙනවා. මේ වයසත් එක්ක ඉතිං හරියට බැරි අමාරුකං එනවා. එහෙන් කොන්දෙ ඇවිළිල්ල, එහෙන් දණිස් කැක්කුං, එහෙන් වාත අමාරුව. පීනසේ වගෙත් ඇවිත්, නෑ නෑ බෙහෙත් ගන්නවා, ඒත් ඒ දොස්තර හරි යන්නෑ වගේ. කොහෙද මේ අපෙ උන්ට කිව්වට අහනවයැ. නෑ, අලුතෙන් බෙහෙත් ගන්න වෙයි. ආයුරුවේදෙටත් ගියොත් හොඳයි නේද?”
සමාධි කට කොණකින් හිනා වෙවීම එළවළු ටික කපන්න ගත්තා. මාසෙකට සැරයක් අනිවාර්යයෙන්ම ටවුන් එකේ හොඳම දොස්තර ළඟට එක්කන් ගිහින් චෙක් කරවලා නැන්දම්මට බෙහෙත් ටික අරන් දෙන්නෙ සමාධිමයි. අරන් දෙන බෙහෙත් ටික වේල් තුනට තෝරලා දීලා යන්නෙත් සමාධිමයි. ඒ හින්දා නැන්දම්මා කියන කතා වල ඇත්ත නැත්ත සමාධි හොඳට දන්නවා.
කොහොම හරි ඊට පස්සෙ කාලයක් යනකම්ම නැන්දම්මා දරුවෙක් හදන කතාව කිව්වෙ නෑ. සෙනුරටත් අම්මගෙ වෙනස දැනිලා තිබ්බා. සෙනුර සමාධිගෙන් විස්තරේ අහනකොටයි සමාධි ඔය විස්තරේ කිව්වෙ. දෙන්නටම ඒකෙන් සැනසිල්ලක් දැනුණා. ඊට අවුරුදු දෙකකට පස්සෙ සමාධිට දරුවෙක් ලැබුණා. කොල්ලෙක්. දරුවව දැක්ක වෙලාවෙ අම්මගෙ ඇස් වල කඳුළු පිරුණ හැටි දැක්කම සමාධිට අම්මා ගැන පව් කියලත් හිතුණා.