බ්‍රැන්ඩික්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් මහතාගේ නව වසරේ පණිවිඩය

උදා වූ නව වසර ඔබටත් ඔබ පවුලේ සියලුම දෙනාටත් සුබ නව වසරක් වේවා යැයි මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා.

මේ, අප මෙතෙක් ආ ගමන් මගේ නොසැලී ලබා ගත් ජයග්‍රහණ තුළින් නව වසරට ජවයක් හා ශක්තියක් එකතුකර ගත යුතු මොහොතක්. ගතවී ගිය කාලය, අලුත් තත්ත්වයන්ට හැඩ ගැසෙමින් එකමුතුව පොදු අරමුණක් කරා ශක්තිමත්ව ගමන් කිරීමට අපට ඇති හැකියාව පෙන්වූ කාලයක් වුණා.

2023 ලෝක ආර්ථික පසුබෑම නිසා විකුණුම්වල අඩු වර්ධනයකට මුහුණ දීමට අපට සිදු වුණා. කෙසේ වුවත් ඒ නිසා නවෝත්පාදනයට සහ අලුත් තත්ත්වයන්ට හැඩගැසීමට හොඳ අවස්ථාවක් ද උදා වුණා.

2024 වසරේ ආරම්භය, අප අතීතයෙන් ඉගෙන ගත් පාඩම් සමගින් කාලයට අනුව වෙනස් වන ලෝකයත් සමග එකතු වෙමින් අනාගතයට මුහුණ දෙන්නට අදිටන් කරගන්නා කාලයයි. විශිෂ්ටත්වය හඹා යෑමට අපට ඇති නොසිඳෙන ආශාව අපට හැම වෙලාවෙම මග පෙන්වනවා. අප නිවැරදි මාවතක ගමන් කරනා බව මට විශ්වාසයි.

අපි කණ්ඩායමක් ලෙස පොරොන්දු වූ දේ ඉටු කළ බව මම අභිමානයෙන් ප්‍රකාශ කරන්න කැමතියි.

  • ගනුදෙනුකරු ඉලක්ක කරගත් නව ව්‍යාපාරික උපායමාර්ගයක් අප හඳුන්වා දුන්නා. ඒ තුළින් අපට ගනුදෙනුකරුගේ තෘප්තිය, නිෂ්පාදන කාණ්ඩවල ප්‍රමුඛත්වය හා මෙහෙයුම් කටයුතුවල විශිෂ්ටත්වය ළඟා කර ගන්න පුළුවන් වුණා.
  • පර්ෂද මට්ටමින් වෙන්ව තිබූ බ්‍රැන්ඩික්ස් ආයතන සියල්ලම One Brandix සංකල්පය යටතේ එක්කර නව ආයතන ව්‍යූහයක් අපි හැදුවා. ඒ මගින් අපගේ නම්‍යශීලීබව, නවෝත්පාදනය සහ තිරසාර බව වැඩි දියුණු වෙනවා.
  • Smarter Brandix නම් වූ අපගේ ඩිජිටල් ගමන්මගේ පුරෝගාමී ආයතනය වූ කටුනායක බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව මේ වන විට ඉතාම හොඳ ප්‍රගතියක් පෙන්වනවා. මේ වසරේදී එවැනි ස්මාර්ට් කර්මාන්තශාලා 4 ක් හඳුන්වා දීමට අපි කටයුතු කරනවා.
  • අපගේ හරිත තිරසර ගමනේ සාර්ථකත්වය පෙන්වමින් පසුගිය වසර වන විට බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා 6 කට කාබන් අවම පරිසර හිතකාමී කර්මාන්තශාලා සඳහා පිරිනමන ‘නෙට් සීරෝ කාබන්’ සහතිකය ලබා ගැනීමට හැකි වුණා. 2030 වෙද්දී ගෝලීයව පිහිටා ඇති අපගේ සියළුම බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා නෙට් සීරෝ සහතිකලත් කර්මාන්තශාලා බවට පත් කරන්න අපි සූදානම්.

මේ කාරණා නිසා මා අනාගතය දෙස බලන්නේ සුබවාදීවයි.

අපගේ ඉලක්කය සංකීර්ණ කාර්යයන් සරල කිරීම් තුළින් විශිෂ්ටත්වයට පත් වීමයි. ඒ තුළින් පිබිදුණු විසඳුම් ලබාදීමයි. ඔබ කරන වෘත්තිය කුමක් වුණත් බ්‍රැන්ඩික්ස් හි හදවත සවිබල ගන්වන්නේ සාමාජික ඔබ සැමයි.

ෆෝමියුලා One මෝටර් රථ ධාවන තරඟයක් ගැන මොහොතකට හිතන්න.එම ධාවන තරඟයේ වැදගත්ම පුද්ගලයා වන්නේ එම රථය ධාවනය කරන රියදුරු. නමුත් ඔහුගේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔහුට උදව් ලබා දෙන අතිදක්ෂ සහය කණ්ඩායමේ සම්බන්ධීකරණය හා කාර්යක්ෂමතාව මතයි. තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් මේ සෑම කණ්ඩායමකම සාමාජිකයන් තීරණාත්මක කාර්‍යයක් ඉටු කරනවා. බ්‍රැන්ඩික්ස් ආයතනයේ සිටින මැහුම් ශිල්පිනියන් මේ ෆෝමියුලා One රියදුරන් වගේ. ඔවුන් බ්‍රැන්ඩික්ස් නිෂ්පාදන ක්‍රියාවලියේ හදවතයි.

ෆෝමියුලා One රියදුරෙක් මනාව සකසන ලද රථයකින්, බාධාවකින් තොරව ජයග්‍රහණය කරා යෑමට ඔහුට තම කණ්ඩායමේ සහය අවශ්‍ය වෙනවා වගේම, අපගේ මැහුම් ශිල්පිනියන්ගේ සාර්ථකත්වය, මහන යන්ත්‍ර හොඳම තත්ත්වයේ තිබෙන බවට සහතික කරන කාර්මිකයන්, වැඩි කර්යක්ෂමතාවක් සඳහා නව නිපැයුම් කරන ඉන්ජිනේරුවන්, නියමිත වෙලාවට අමුද්‍රව්‍ය සපයන කැපුම් අංශය, කාර්‍යය සුමට කරන සැලසුම්කරුවන් සහ නියමිත වෙලාවට නියමිත ප්‍රමාණයට ඇණවුම් ලබාගන්නා අලෙවිකරුවන් වගේම මානව සම්පත්, පරිපාලන ආදී විවිධ අංශවල සියලු දෙනාගේ සහාය මත රඳා පවතිනවා.

මේ විදියට හිතුවම ‘අපේ තරගය’ ජය ගැනීමට විවිධ රැකියා කරන සෑම කෙනෙකුගේම සහය අත්‍යාවශ්‍ය බව අපට හොඳින් පැහැදිලි වෙනවා. නම්‍යශීලීබව, නවෝත්පාදනය සහ තිරසාරත්වය සහිත උසස් නිෂ්පාදන කිරීම තුළින් ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රයේ සමකළ නොහැකි බලවේගයක් බවට බ්‍රැන්ඩික්ස් අපව පත්කරන්නේ මේ සහයෝගීතාවයි.

බ්‍රැන්ඩික්ස් සාරධර්ම පෙරදැරි කරගෙන ඩිජිටල් තාක්ෂණයෙන් නව මං සොයා යන අපට, 2024 වසර ‘සුබ දැක්මකින් ස්මාට් ගමනක්’ යන සුවිශේෂී වසරක් වේ ‍යැයි මගේ හැඟීමයි.

උදා වූ 2024 නව වසර, බ්‍රැන්ඩික්ස් පවුලේ ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් අනෙකුත් සහාය සේවා සපයන සියලුම අයටත් ඔවුන්ගේ පවුලේ සැමටත් සතුට සැනසුම සපිරි සුබ නව වසරක් වේවා යැයි, නැවත මා ප්‍රාර්ථනා කරනවා.

අෂ්රොෆ් ඔමාර්
බ්‍රැන්ඩික්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී