පුංචි කාලේ පස්ස උඩ තියාගෙන අත් දෙක බිම ඇණගෙන ගෙදර ඉන්න ආච්චි, සීයා , අම්මා, තාත්තා වගේම වැඩිහිටි ඕනම කෙනෙක්ට වඳින පුරුද්දක් ඔයාටත් තිබුණා මතකද? එහෙම පුරුදු වුණ ඔයාට අද ගෙදරින් එළියට බහිනකොට අම්මාට තාත්තාට වැඳලා යන්න අමතක වෙනවා නේද?
ආහ්… ඇයි දහම් පාසලේ උදේ රැස්වීමේ කතාවක් කරන්න කිව්වාම ඉස්සරවෙලාම මතකෙට එන මාතෘකාව ඔයාට මතකද? මට නම් හොඳට මතකයි. පොදු දේපළ සුරකිමු. ඉතින් ඒ මාතෘකාවට ඉස්කෝලේ ඩෙස් පුටු ටිකේ ඉඳන් බස් එකේ කෝච්චියේ ෂීට් ටික ආරක්ෂා කරගන්න එක ගැන කතා කළා ඔයාට මතකයි නේද?
සිංහල පාඩම ඉගෙන ගන්න කොට සිරිමත් වගේ හොඳ ළමයෙක් වෙන්න හිතින් හීන මවපු හැටි, සිරිමත්ගේ හොඳ ගති ගුණ කවියෙන් කියන ගමන් සිරිමත් මමයි කියලා හිතුවේ, ඒ සිරිමත්ගේ හොඳ ගති ගුණ ඔක්කොම මගේ ගාවට කරගන්න හිතින් හිත හිත.
නමුත් අද කාර්‍යබහුල වෙලා ගෙදරින් එළියට බහිනකොට අම්මට තාත්තට කියලා යන්න වෙලාවක් ඔයාට තියෙනවද? කකුල් දෙක අල්ලලා වඳින්න යන වෙලාවේ බස් එක අල්ලගන්න දුවන්න ඕන කියලා හිතන්න තරම් අපි ආත්මාර්ථකාමී වෙලා.
පොදු දේපළ ආරක්ෂා කරන්න කතා කරපු අපි ගෙදර අඩුපාඩුවක් දැක්කාම වැඩියෙන් තියෙන ඕනෑම තැනකින් ඒක ගළවාගෙන යන්න පුරුදු වෙලා. එහෙම ගළවාගෙන ගියාම තවත් මිනිස්සු දහසක් අපහසුතාවට පත් වෙනවා කියල පුංචි කාලේ ඉගෙන ගත්තට අද අනෙකාගේ අපහසුතාව අපට දැනෙන්නේ නැති වෙලා.
සිරිමත්ගේ ගති ගුණ ටික නින්දට පෙර කටපාඩම් කරත් අපේ මිනිස්කම අපට අමතක වෙලා. අනෙකාට ගෞරවයෙන් සලකන්න අමතක වෙලා. අනෙකාගේ දුක අඳුරගන්න අමතක වෙලා.
පුංචි හිත් රිදවීමක් උනත් මහා ලොකුවට හිතාගෙන, හිත නොහොඳ නෝක්කාඩු කරගන්න තරම් අපේ හිත් දූෂිත වෙලා. පිරිසක් එක්ක වැඩ කරන වෙලාවට හිතට දුක හිතෙන දේවල් වෙනවා තමයි, තරහ යන දේවල් වෙනවා තමයි. ඒත් ඇයි අපි අපේ හිතේ තියෙන තරහව තවත් කෙනෙක් එක්ක එකතු කරන්නේ? ඇස් දෙක පොඩ්ඩක් පියාගෙන තරහ නිවා ගත්තාම ඔයත් සතුටින්, එයත් සතුටින්.
ඉතින් මේ අපිට වෙනස් වෙන්න හොඳම කාලයයි!
අමතක කරපු අමතක වුණ හැම හොද පුරුද්දක්ම අලුත් අවුරුද්දේ අපි මතක් කරගමු. පුංචි කාලේ ඉගෙන ගත්ත හොඳ පුරුදු නැවත නැවත ආවර්ජනය කරමු. අලුත් පරම්පරාවට ඒ සියල්ල තෑගි කරමු. අනාගතයේ සුබ සිහින ඒ තුළින් දකින්නට පාර තනමු.
මේ අලුත් අවුරුද්දේ පරණ හොඳ ගතිගුණ නැවත එළියට අරන් සුවඳ තවරලා හැම සිත් පුරාම සුවඳ ගල්වන්නට අදිටන් කර ගනිමු.
ඔබට ජය…
බුද්ධිකා කාරියවසම්