ඇය වෙනුවෙන් අපි - දැය නංවන‍ ඇය දිනවමු

“තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි” කියලා කියමනක් අහලා ඇති නේද? මේ කියමනෙන් කියන්නෙ කවුද කියලා දන්නවද? ඔව්, මාර්තු අට වෙනිදා මුළු ලෝකයක් එකතු වෙලා සමරන, ලෝකයටම ජීවය දෙන ‘කාන්තාව’ ගැනයි ඒ කියන්නෙ. සාමාන්‍යයෙන් කාන්තාව කියන කෙනා බොහොම සුකොමළ හා බොහොම දුර්වල  විදියට සැලකුණත්, ඇත්තටම කාන්තාව කියන්නෙ නොසැලෙන ධෛර්යයේ සහ ශක්තියේ සලකුණක්.

බ්‍රැන්ඩික්ස් අපිත් මෙවර කාන්තා දින සැමරුමට එකතු වෙන්නේ ඉතාම අභිමානයෙන්. ඒ, බ්‍රැන්ඩික්ස් ශ්‍රම බලකායේ වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් වෙන නිසාම නෙවෙයි, සැබැවින්ම බ්‍රැන්ඩික්ස් පවුල කියන්නෙ කාන්තාව ඉහළින්ම සමරන නිසාමයි.

ඉතිං මෙවර කාන්තා දිනයේ දී අපේ සාමාජිකාවන් කිහිප දෙනෙකුගේ මෙතෙක් ගමන ගැන ලෝකයක් එක්ක බෙදාගන්නේ, අපේ මේ සාමාජිකාවන් කාන්තාව කියන චරිතයට ඒ තරම්ම බැබළීමක් එකතු කරන නිසාමයි.

නමින් හර්ෂණී මධුෂිකා වන ඇය යාන්ත්‍රික ඉංජිනේරු කාර්‍ය මණ්ඩලයේ සහායිකාවක්. මෙතෙක් දුර ආ ඇගේ ගමන ගැන කතාව ඇය අපිත් එක්ක බෙදාගත්තා.

“මං පොඩි කාලෙ ඉඳලා ආස වුණේ මැකෑනික් කෙනෙක් වෙන්න. ඒ මගේ අයියා නිසා. ඉතිං මං ටෙක් එකේ කෝස් එකක් කරලා බ්‍රැන්ඩික්ස් එකත් එක්ක එකතු වුණා. ඒත් මෙතන ගොඩක් ඉන්නෙ පිරිමි ළමයි. පස්සෙ බ්‍රැන්ඩික්ස් හරහා ෆීමෙල් මැකෑනික්ලට පැවැත්වුණු පාඨමාලාවත් සම්පූර්ණ කළා. අද වන විට මම බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ ෆීමේල් මැකෑනික් කෙනෙක් විදියට සේවය කරනවා.”

දැනුමට දැනුමක් එකතු කරගනිමින් දිගු ගමනක් යන ශ්‍යාමා කුමාරි ජයවීර බ්‍රැන්ඩික්ස් රඹුක්කන ෆිනිෂින් ආයතනයේ කාර්‍ය මණ්ඩල සහායිකාවක්. මේ ඇගේ කතාවයි. “මම මගේ ගමන පටන් ගත්තේ බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයෙන්. පස්සෙ මම PACE වැඩසටහන එක්ක එකතු වුණා. ඒ වැඩසටහනේදී වෘත්තීය ජීවිතයත්, පවුල් ජීවිතයත් සමබරව ගෙනියන හැටි ඉගෙන ගත්තා. ඒ වගේම NVQ පාඨමාලාව හරහා මගේ වෘත්තීය ජීවිතයට තවත් වටිනාකම් එකතු කරගත්තා. අද මම ඉතාම සතුටින් ජීවිතය ගෙවනවා”

උත්සාහයෙන්, දිරියෙන් සිහින සියල්ල සැබෑ කරගනිමින් සිටින ප්‍රසන්තිකා සෙව්වන්දිගේ  කතාවයි මේ.

“මගේ දෙමව්පියන්ගේ සිහිනය වූයේ මං නැටුම් ගුරුවරියක් වෙනවා දකින්න වුණත්, මගේ සරසවි සිහිනය ඉටු වුණේ නැහැ. පස්සෙ මං බ්‍රැන්ඩික්ස් සමූහයට එකතු වුණා. අද වන විට මම බ්‍රැන්ඩික්ස් ආයතනයේ මැෂින් ඔපරේටර්වරියක් විදියට සේවය කරන ගමන්  කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හදාරනවා. ඒ වගේම මගේ සිහිනයට තවත් ළඟා වෙමින් සති අන්තයේ පාසල් දරුවන් සඳහා නැටුම් පන්තියකුත් පවත්වනවා.”

කේ. ක්‍රිෂ්ණාවනී, කාර්මික ඉංජිනේරු අංශයේ දත්ත ඇතුළු කරන්නියක් ලෙස සේවය කරනවා. ඇයත් අප සමඟ ඇගේ කතාව බෙදාගත්තා.

“මම සේවය කරන්නේ බ්‍රැන්ඩික්ස් සීතාවක, අවිස්සාවේල්ල ආයතනයේ. මම දැනට ආයතනික කාර්මික අංශයේ සේවය කරන ගමන් ගුවන්විදුලි නිවේදිකාවක් හැටියටත් සේවය කරනවා. ගුවන්විදුලි නිවේදිකාවක්  වීම පොඩි කාලෙ ඉඳන් මට තිබුණු හීනයක්. කාන්තාවන් විදිහට අපි සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින්, ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න ඕනි.”

මේ සියලු දෙනා කාන්තාව කියන සලකුණ බබළන චරිත. අපි සියලු දෙනාම ඔවුන්ට අපේ සුබ පැතුම් එක්කරමු!