නව අවුරුදු සමරමු - සිරිත් විරිත් අගයමු

රටට වසන්ත කාලය එළැඹෙන අප්‍රේල් මාසය කියන්නේ ගස්වැල් අලුතින් දලු දාලා වැවෙන, රසවත් පළතුරුවලින්, මල්වලින් පිරුණු කාලයක්. ගෙවල් දොරවල් අස්පස් කරලා, පිරිසිදු කරලා, අලුත් ඇඳුම් පැළඳුම් සූදානම් කරගෙන අවුරුදු කාලෙටම සුවිශේෂී වුණ රස කැවිලි හදලා මේ නව අවුරුද්දට  අපි හැමෝම සූදානම් වුණා. ඉතිං බ්‍රැන්ඩික්ස් අපිට නම් මේ අවුරුදු  සිරිත්  අලුත් දේවල් නෙමෙයි. මොකද  අපි සාරධර්ම තුල ජීවත් වෙන පිරිසක් නිසා.

අපිට අවුරුදු ක්‍රිඩා උනත් හරිම සමීපයි. බ්‍රැන්ඩික්ස් අපේ වැඩ පරිසරය තුල සිදුවන  ක්‍රියාදාමයන් අවුරුදු ක්‍රීඩාවල දකින්නට පුලුවන්. ජනක්‍රීඩාවල මූලිකම හරය සාමූහික බව, එකමුතු බව, සහයෝගයෙන් කටයුතු කිරීමයි. කඹ ඇදීම, පංච දැමීම, පොරපොල්, චක්ගුඩු, ලිස්සන ගහේ නැගීම වගේ අවුරුදු ක්‍රීඩාවලින් ඒ බව අපිට දැකගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි නොනගතය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම වගේ චාරිත්‍ර නියමිත වෙලාවට ඉටු කරලා නව වසරේ ආශිර්වාදයත් අලුත් අවුරුද්දක් ලැබීමේ ප්‍රීතියත් සියලුම  දෙනා එක්ව සමරනු ලබනවා. මේ හැමදේම අපි කරන්නේ අවංකවම ආගමික ආශිර්වාදය වගේම සංස්කෘතියෙන් අපිට උරුම වූ දේවල් ආරක්ෂා කරගැනීමේ අරමුණෙන්. ආගමක් හෝ ජාතියක් දියුණු වෙන්නටත් ඉස්සරහට පවත්වාගෙන යන්නත් ඒ ආගමට ජාතියට අයත් සියලු දෙනාම ඒ වෙනුවෙන් අවංකව කැපවීමෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ අපි චාරිත්‍ර ඉටු කරලා කරන්නෙත් ඒ දේම තමයි. වැඩිහිටියන්ගේ අනු දැනුම මඟ පෙන්වීම යටතේ ඔවුන්ගේ අවවාද උපදෙස් පිළිපැදලා ඒ අනුව කටයුතු කරලා ඒ අයගේ ආශිර්වාදයෙන් තමයි අපි හැමෝම අලුත් අවුරුද්ද ආරම්භ කරන්නෙත්. වසර ගණනාවක ඉඳලා පැවතෙන සංස්කෘතියක විශිෂ්ටත්වය එයයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් අප සිදුකරන වතාවත්වල, අවුරුදු ක්‍රීඩාවල සැබෑ සාරය අපගේ බ්‍රැන්ඩික්ස් VALUES වල ඇතුළත් වෙලා තියෙන බව නොරහසක්. අවුරුද්දේ අපි අනුගමනය කරන සිරිත් බ්‍රැන්ඩික්ස් අපිට අලුත් දේවල් නෙවෙයි කියල හොඳටම පැහැදිලියි.  ඉතින් මේ නව අවුරුද්දේ සාරධර්ම සුරකිමින්, කටයුතු කරන්න අපි සියලු දෙනාම එක්වෙමු. ඔබ සැමට ශ්‍රී සුබ නව වසරක් වේවා!