සොබාදහමට අදත් නඩු අහන දවසක්

ගැබ්බරව මොර දෙද්දි හවස් වරු අහසක්…
ඉඳ හිටක ඉකි බිඳී වලාකුලු දහසක්…
වේගයෙන් හමායන සැඩ සුළං මාවත්..
කියන්නට හදනවද කුමක් හෝ රහසක්..

ඇඹරිලා අතුපතර බිඳී ගොස් යහනක් ..
හැම තැනම අතුරලා පලා පත් දහසක්..
කලබලෙන් කුමක් හෝ විසඳනා මොහොතක්
සොබාදහමට අදත් නඩු අහන දවසක්…

ගස් කොලන් ඉඳ හිටක සාක්කිය දීමත්..
සැඩ සුළං ඒ හැමට නැවත ගතු කීමත්..
වලාකුලු ඉකි බිඳී නැවතුමක් නාවත්
ගැබිනියක් අහස අද නෑ ඈට ගානක්…

දරු පැටව් වනසද්දි පිය උරුමෙ බෝසත්..
ඔහේ නොදොඩාම හිඳ ඉකි බිඳී තාමත් ..
කිසිම දින දරුවන්ව නොකලාට හාමත්..
සොබාදම් මාතාව දැන් හුඟක් වියපත්..

පෙම්වතා දුරින් හිඳ රළ හරඹ පෑවත්..
ගැබ්බරව ඈ හිදී නොකියාම කිසිවක්..
ගැඹුරු තරමට නිසල වෙන බවට කීවත්..
සයුර නම් අද හරිම කලබලයි කෝමත් ..

ඉඳ හිටක පියාඹන වැහි ලිහිණි රෑනක්..
දොස් කියයි මොර දිදී නෑ ඈට ගානක්..
නීතියෙන් වෙන් වුණත් අහසකට පොලොවක්..
සයුරකට බැරි නෑනේ ඉවසන්න දවසක්…

මොර දිදී හඬවනා කඳුලු යට තාමත් …
දරුවො දුක් විඳිනවා නෑ ඈට  ගානක්..
ගැඹුරු තරමට නිසල වෙන බවට කීවත්
සයුර ඇයි මේතරම් කැලඹෙන්නෙ මේමත්..

වියපත්ව කුස දරා ඉන්න බිජු දහසක්…
මුදා හල යුතුම වෙයි පෘථිවියට කෝමත්.
මව් ඇකය හැර දමා පැන දුවන උන්ටත්..
කන්න දෙයි කෙසේ හෝ ඈ උනත් වියපත්…

සුරංජි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook