දිනෙන් දින දියුණු වෙන ලෝකයේ වටිනාකමින් වැඩිම දේ කාලය කිව්වොත් ඔබ විස්වාස කරනවද? මුදලට බලයට හැමදේම යටත් වුණත් කාලය කියන දේ ඇතුන් ලවාවත් අද්දන්න බෑ කියනවානේ. ඉතින් මොන සල්ලි තිබුණත් කාලය කියන දේ ඔයාට මාරම වටින දෙයක් කියලා අමුතුවෙන් වටහලා දෙන්න ඕනෙ නෑ කියලා මම හිතනවා. වේගයෙන් වෙනස්වන ලෝකයක ජීවත්වෙන අපි, මේ කාලය කියන එක කාර්යබහුල රැකියා කරන පුද්ගලයින් විදියට කළමනාකරණය කරන්නට හැකියාව තියෙන්න ඕනේ. තමන්ගේ පවුලේ අයටත් ආදරණීයන්ටත් විතරක්ම නෙවෙයි තමන් වෙනුවෙනුත් කාලය වෙන් කරන්න අපිට හැකියාව තිබිය යුතු වෙනවා. නැත්නම් මනුස්සයෙක් විදියට ජීවිතය ගොඩක් පීඩනයෙන් ගෙවන්න සිද්ධ වේවි. මෙවර වියමන් වෙතින් ඔබට ගෙන එන්නේ මේ අමිල වූ කාලය කළමනාකරණය කරගන්නට ඔබට උදව් වෙන උපදෙස් කිහිපයක් ගැනයි.
මුලින්ම වැදගත් සහ අත්‍යවශ්‍ය කාර්යයන්වලට කාලය වෙන් කරගැනීම කරන්න ඕනේ. වැදගත්, වඩාත් වැදගත්, හදිසි කාර්යයන් යනුවෙන් කළ යුතු කාර්යයන් අතරින් වඩාත් සුදුසු කාර්යයන්වලට තමන්ගේ කාලය යෙදවීමෙන් කාලය වගේම මහන්සියත් අපතේ නොයාවි. ඒ වගේම ඒ ඒ කාර්යයන්වලට නියමිත කාලයක් වෙන්කරලා ඒ අනුව වැඩ සංවිධානය කළයුතු වෙනවා. ඒ වෙන්කළ කාලයේදීම නියමිත කාර්යය සිදු කිරීමෙන් වඩාත් කාර්යක්ෂම ඵලදායී සේවකයෙක් බිහිවෙන්න බලපානවා. මේ විතරක්ම නෙවෙයි. අනික් අයගේ වැඩ තමන් විසින්ම සිදු කිරීමත්, නොපැවරුණ කාර්යයන් කිරීමත් ඔබ නොකළ යුතු වෙනවා. එය ඔබට මානසික වශයෙන් යහපතක් වනු ඇති. අනෙක් අයට පැවරුණ වැඩ තමන් බාරගෙන කිරීමෙන් සිදුවෙන්නේ අනවශ්‍ය ආතතියක් ලබා ගැනීමක්. නමුත් එකිනෙකාට අපහසු අවස්ථාවල උදව් කිරීම ඔබේ කරුණාවන්ත බව පෙන්වීමක්. නිතරම අන් අයගේ වැඩ තමන් විසින් කිරීම නම් යහපතක් සිදුවන දෙයක් නොවෙයි.
මේ වගේම තමන්ගේ වැඩ පහසු කරගන්නට තාක්ෂණය උපකාර කරගැනීමත් කාලය කළමනාකරණය කරගනීමට වඩාත් පහසු ක්‍රමයක්. ඒ සඳහා දවසේ කාලසටහන මතක් කරදීමට ඔබේ ජංගම දුරකතනයේ APP එකක් යොදා ගැනීම, Reminder පහසුකම යොදාගැනීම වගේ තාක්ෂණික උපාංගවලින් ඔබේ කාලය කළමනාකරණය පහසුවනවා. ඒ විතරක් නොවෙයි විශාල ආයතනික කාර්යයන් කලමනාකරණයට Work sheet යොදා ගන්නෙත් මේ කාල කළමනාකරණය සඳහාමයි. ඒවාහි නියමිත දිනයට මාසයට වෙන් වූ වැඩ සටහන් කර නිසි විදියට ඒවා නිමා කරනු ලබනවා. අවසාන වශයෙන්, තමන්ට නිසි විවේකය ලබා ගැනීම කාල කළමනාකරණයේදී අත්‍යවශ්‍ය දෙයක්. එසේ නොවුණොත්, කායිකවත් මානසිකවත් ඔබව බිඳ වැටී ඔබේ කාර්යක්ෂමතාව අඩුවනවා. ඒ නිසාම මෙහි දක්වා තිබෙන උපදෙස්වලට අනුව කාලය කලමනාකරණය කරගත්තොත් ඵලදායීවත් ගුණාත්මකවත් තමන්ගේ සේවය කරන්නට ඔබට හැකියාව ලැබේවි.