යකඩ පිහාටු

“නදූ අන්න නුවර පුංචම්මලා එනවලු. ඔය කාමරේ අස් කරගන්නැද්ද, බලනවා නිකං කුකුළ් කොටුවක් වගේ”

නිවාඩු දවසෙ ඇඳ උඩට වෙලා පිහාටු පොත් ටික ආයෙමත් සැරයක් හරි ගස්සන ගමන් ඉන්නකොට තමයි අම්මා කාමරේට එබිලා නදුල්ෂට කෑගැහුවෙ.

නදුල්ෂාට නිවාඩු තියෙන්නෙ එක දවසයි. අනික් දවස් හයේම නදුල්ෂා වැඩට යනවා. ඒ හින්දා ගෙදර ඉන්න එකම දවසෙ තමන්ගෙ කැමතිම විනෝදාංශෙ වෙනුවෙන් වෙලාවක් එයා අනිවාර්යයෙන්ම වෙන් කරන්න අමතක කළේ නෑ. නදුල්ෂට 25 ලැබුවෙ ඊයෙ පෙරේදක. ඒත් පුංචිම කාලෙ පටන් ගත්ත විනෝදාංශෙ තමයි තාමත් නදුල්ෂගෙ ප්‍රියතම විනෝදාංශෙ වුණේ. එක එක කුරුල්ලන්ගෙ පිහාටු එකතු කරන්න නදූට තිබ්බෙ පුදුම ආසාවක්. සමහර වෙලාවට නදූ ගෙදරින් බැණුමුත් ඇහුවා පොඩි එකෙක් වගේ හැසිරෙනවා කියලා. නදූට එක එක කුරුල්ලන්ගෙ පිහාටු අලවපු පොත් දහයක් විතර තිබ්බා. තව එකම වර්ග වලින් පිහාටු එක්කට වැඩිය හම්බුණාම ඒවා පුරවගන්න මල්ලකුත් තිබුණා. ඒත් නදුල්ෂා නං පිහාටු එකතු කිරිල්ල නැවැත්තුවේ නෑ.

නුවර පුංචම්මලා එනවා නං මේ ටික කොහොමත් අරන් තියන්න වෙනවා. නැත්තං හංගලාම දාන්න වෙනවා. නැත්තං ඉතිං පිහාටු එකතු කරනවා කියලත් මොනවා හරි කියයි පුංචම්මා. බාප්පා නං සද්දයක්වත් නැති මනුස්සයෙක්. ඒත් පුංචම්මා නං කියවන්න පටන් ගත්තාම නවත්තන්නෑ. නදූට බණිද්දිත් එහෙමයි. නදූගෙ අම්මයි තාත්තයිත් ඒකට පොහොර දානවා. නදූ පොඩ්ඩක්වත් කැමති උනේ නෑ පුංචම්මා එනවට. ඒත් ඉතිං ඕවා හිත හිත හිටියා කියලා වෙනස් වෙන්නැති නිසා නදූ පිහාටු පොත් ටිකයි, මල්ලයි අරන් තිබ්බා.

පුංචම්මලා ආවෙ හවස් වෙලා. රෑ ඉන්න බලාගෙනම. පොඩ්ඩො දෙන්නට නං හරි සතුටුයි. නදූටත් සතුටුයි. අයියා බැඳලා ගියාට පස්සෙ නදුයි, අම්මයි, තාත්තයි විතරයි ගෙදර ඉතිරි වුණේ. පුංචම්මගෙ කටට අකමැති උනාට පුංචි ඈයො එනවට නදූ කැමතියි. එක්කෙනෙක් දෙක වසරේ. අනිකා පහ වසරේ. දෙන්නත් නදූට හරිම ආදරෙයි.

‘”නදූ දැන් ඉතිං මොකද කරන්න හිතාගෙන ඉන්නෙ ඉස්සරහට?” කට්ටියගෙ කතා මණ්ඩපේ පටන් ගත්තෙ රෑ කෑමෙන් පස්සෙ. නදූ මුකුත් නොකිව්වෙ නදූට සැලසුමක් නොතිබුණු නිසා නෙවෙයි. පුංචම්මට කියන්න තියෙන අකමැත්තට.

“ඔහොම ඉඳලා හරි යනවද නදුල්ෂා, කිසිම ප්ලෑන් එකක් නෑ. කිසිම අරමුණක් නෑ. ගෑනු ළමයෙක් උනාම ඔහොමද, මේ බාප්පිගෙ අක්කගෙ දුව බලන්නකො. ඔයාගෙ වයසෙමයි, කෙල්ල සැලොන් එකක් කරනවා, හරි ෂෝක් අනේ, ඔය රස්සාවෙම එල්ලිලා ඔහොම ඔපයක් නැතුව ඉන්නද කල්පනාව?”

“එයාට ඉතිං රස්සාවට යනවා, ගෙදරදොරේ මොනවහරි වැඩක් කරනවා. ඔච්චර තමයි.” තාත්තා කිව්වා.

“ඇයි ඊට පස්සෙ අර කුකුළ් පිහාටු ටික එලාගෙන බල බල ඉන්නවා.” අම්මා තාත්තගෙ කතාවට ඌන පූර්ණ දුන්නා.

“මොන?” පුංචි අම්මා ඇහුවෙ පුදුමෙන්.

“ඇයි මෙයාගෙ විනෝදාංසෙනෙ පිහාටු එකතු කරනෙක”

“ඊයා නදූ, ලැජ්ජා නැද්ද, පොඩි එකෙක් වගේ පිහාටු එකතු කරන්න, වෙන කෙල්ලො ඕවද කරන්නෙ, ඇරත් ඔය වයසට, ඒක තමා තාම කොල්ලෙක්වත් නැත්තෙ. මෙයාව නං ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න තියෙන්නෙ”

කොච්චර හිත රිදුණත් නදුල්ෂා ඇහුණෙ නෑ වගේ පොඩි උන් දෙන්නා එක්ක හිනා වෙවී සෙල්ලම් කර කර හිටියා. මොනවා කිව්වත් නදූ ගණන් ගන්නෑ කියලා තේරුම් ගත්ත පාර අම්මලා, පුංචම්මලා වෙන කතාවක් පටන් ගත්තා. නදූ පොඩි දෙන්නත් එක්ක කාමරේට ගියේ පොඩි දෙන්නට කතන්දර කියලා දෙන්න.

—————————————————

“අනේ මේ පොඩි බබාගෙ ඉස්කෝලෙ වැඩ වලට ඕනි ඒවා හොයාගන්න ගියාම එපා වෙනවා අක්කා, රූප කොළ කියයි, මල් ජාති කියයි, මැටි වර්ග කියයි, ඇට වර්ග කියයි, එපා වෙනවා”

“ඇයි නංගි කඩවල් වල තියෙන්නෙ?”

“එහෙමත් නෑ අක්කෙ ඔය කියන කියන ඔක්කොම ඒවා”

එතකොටම තමයි දෙක වසරෙ ඉන්න පොඩ්ඩා සතුටෙන් කෑගහගෙන නදූගෙ කාමරෙන් එළියට දුවගෙන ආවෙ.

“අම්මේ, අම්මේ මේං මේවා තියෙනවා”

“මොනවද චූටි පුතා?”

“අම්මා ඉස්කෝලෙට පිහාටු ගේන්න කිව්වා”

“කවද්ද කිව්වෙ, ඔයා එහෙම එකක් කිව්වෙ නෑනෙ පුතේ.”

“නෑ අම්මා, ටීචර් කිව්වා”

“ඉන්නකො බලන්න” පුංචම්මා පොඩ්ඩා කිව්ව කතාව විශ්වාස කළේම නැති නිසා පොඩ්ඩගෙ පන්තියෙ ළමයෙක්ගෙ අම්මා කෙනෙක්ට කෝල් එකක් දුන්නා.

“හෙලෝ නිරංජි, මේ බබාලට ඉස්කෝලෙට කුරුලු පිහාටු ගේන්න කියලද?”
..
“ආ… හරි, හරි, ගේන්න කියලනේ? ඒක තමයි, මේ බබා දැන් කිව්වෙ.”
..
“ඔව්ව්, ඒක තමයි, අපේ ගෙවල් පැති වල ඉතිං පිහාටු කොහෙන්ද, ටවුන් නෙ ඉතිං, කපුටු පිහාටු තමයි අරන් යන්න වෙන්නෙ. ඉන්නකො මං මේ අක්කලා ගෙදර පැත්තෙන්වත් පිහාටු එවන්නංකො හොයලා”

පුංචම්මා කතාවක්වත් නැතුව කෝල් එක කට් කළා. බාප්පා උගුර පෑදුවේ පුංචම්මට ඔච්චමට වගේ. කාමරේ හිටිය නදූට හිත යටින් හිනා ගියා.

Facebook
Facebook