ජනිත්: රසික… රසික… මචං රසිකයා…
රසික: ආහ් ජනිත්… කවද්ද ආවෙ… වරෙන් වරෙන් ගෙට… ඉඳහං මං බොන්න මොනාහරි ගේන්නම්…
සාලයේ බිම ඉඳගෙන පොතක් කුරුටුගාමින් සිටි ජනිත්ගේ ආබාධිත මල්ලී ජනිත් දෙස හැරීවත් බැලුවේ නැත.
රසික: අඳුරගන්න බැරිවෙන්නැති , සෑහෙන්න කාලෙකින්නෙ උඹව දැක්කෙ.. යමං එළියට.. කූල් එකක් බොන ගමන් කතා කරමු… අම්මා නැති වුණා කියලා කියන්නවත් උඹට කතා කරන්න නම්බර් එකක් තිබ්බෙ නෑ ජනියා… අනික උඹ ගිහින් එක කෝල් එකක් හරි ගත්තා නම් ඒ මනුස්සයා අදටත් ජීවත් වෙනවා කියලා නම් ෂුවර් මචං…
ජනිත්: වැඩ ගොඩයි බං. අනික ගියාට පස්සෙ අලුත් නම්බර් වලට මාරු කළා…
රසික: විහිළු කතා කියන්නෙපා ජනියා… මේ රටෙන් උඹ නෙවේ කොරියාවෙ ගිය පළවෙනි එකා… අපේ යාළුවො ඕනෙ තරමක් එහෙ ඉන්නවා. හැබැයි උන් මාසෙකට වතාවක් හරි හායි කියලා මැසේජ් එකක් හරි දැම්මා… එකට කාලා බීලා හිටපු උඹ මෙහෙම පවුල අතෑරලම දාලා තව නිදහසට කාරණා කියාගෙනත් එන්නෙපා බං…
ජනිත්: හරි බං… මට සමාවෙයන්… මං උඹට මේ කරපු හැම දේකටම සල්ලි දෙන්නම්…
රසික: උඹ හිතුවද බං මං ඩේ කෙයාර් එකක් කරනවා කියලා සල්ලි ගන්න… උඹ එක කුස උපන් එකා උනත් උඹ රට ටොෆි චොකලට් ගෝනියක් ගෙනල්ලා දුන්නත් අර සාලෙ ඉන්න උඹේ මල්ලි උඹේ ළඟටවත් එන්නෙ නෑ මචං.. හැබැයි තව දෙයක් ඒ අහිංසකයා මං කවනකම් බත් කන්නෙත් නෑ මචං…
ජනිත් නිහඬවම බිම බලාගෙන හිඳියි…
රසික: උඹට මතකද අපිට පහ වසරෙ පන්තියේදි තිබ්බා පාඩමක් “හත් පෙති මල” කියලා… ඒකෙ ශේන්‍යා නිරපරාදෙ මලේ පෙති පහක්ම එයාගෙ ආසාවල් වෙනුවෙන් නාස්ති කළා… ඔව්. එයාට ඒක අයිතියි. මොකද එයාගෙ මල එයාගෙ ඒ හීන විඳින්න තියෙන අයිතිය එයාගෙ… හැබැයි මචං එයා එයාගෙ මලේ අවසාන පෙත්ත අසනීපෙන් ඉන්න යාළුවා වෙනුවෙන් කැප කළා… එයාව සනීප කළා… එයා ඒකෙන් සතුටු වුණා…
ජනිත්: ඒත් මතක තියාගනින් හැමෝටම හත්පෙති මල් හම්බෙන්නෙ නෑ රසිකයා…
රසික: ඔව්… ඒවා තියෙන්නෙ කතා පොත් වල විතරයි… ඒත් උඹට පුංචිම හරි මොළයක් තිබ්බනම් උඹ තේරුම් ගන්න ඕනෙ මං කීවෙ කෙහෙම්මල් හත් පෙති මලක් ගැන නෙවේ කරුණාවන්ත හදවතක් ගැන කියලා… උඹ උඹේම සහෝදරයාව අමතක කළා… දැන් ඇවිත් මෙතන සල්ලි දෙන්න හදන්නෙ උඹෙන් වෙච්ච අඩුපාඩු ටික වහගන්න නම්… අන්න උඹේ මල්ලි සාලෙ ඉන්නවා… ඔය සල්ලි දැක්කම ඌ සතුටින් උඹව බදාගනීද බලපං… ඔය සල්ලි කියන්නෙ මොනාද කියලවත් ඌ දන්නෑ බං… ඌට ඕනෙ ඌ එක්ක කතා කරන එකෙක්, ඌ එක්ක ටීවි බලන එකෙක්, ඌ එක්ක බත් කන කෙනෙක්, ඌ එක්ක බලිකුරුටු අඳින එකෙක්… එහෙම එකෙක් මේ ලෝකෙ ඉන්නවා නම් ඌට ඉන්නෙ මං විතරයි ජනියා… උඹලගෙ වාසගම එක උනාට… සහෝදරකම ගොඩක් වෙනස් බං…
ජනිත්: මට සමාවෙයන් රසික… මං ආවෙ මල්ලිව එක්ක යන්න. ඒත් එයා සතුටින් ඉන්නෙ උඹ එක්ක නම් මං එයාට ඉන්න දෙන්නම්… උඹට ඕනෙ ගාණක් කියපං. මං දෙන්නම්…
රසික: උඹට සල්ලි කියන්නෙ දැන් නම් පොඩි දෙයක් උනාට… මං සහෝදරකම් විකුණන බ්‍රෝකර්කාරයෙක් නෙවේ ජනියා… ඒක තේරුම් ගනින්…
ජනිත්: මට අන්තිම පාරට කියන්න තියෙන්නේ සමාවෙයන් කියලා විතරයි රසිකයා… අනික මං එහෙන් කසාද බැන්දා. මට මෙහේ ගොඩක් කල් ඉන්න බෑ… ඉතිං මං යන්න ඕනෙ… මං බඩු වගයක් ගෙනාවා. අඩු ගාණෙ ඒ ටිකවත් ගනින්.. මං ඉල්ලන්නෙ එච්චරයි…
රසික: හරි බං. උඹ මුකුත් අවුලක් නොගෙන සතුටින් ඉඳපං. මං කොල්ලව හොඳට බලාගන්නම්. කන බොන දෙයක් ඇරෙන්න සත පහක්වත් මට එපා උඹෙන්… අනික මං ඉස්සරට වඩා සතුටින් ඉන්නවා මල්ලි නිසා… අපේ අම්මලත් එහෙමයි… ඒ නිසා උඹ ලස්සනට ජීවත් වෙයන්… ආ…. මං ප්‍රාර්ථනා කරනවා… උඹට නිරෝගී දරු සම්පතක් ලැබේවා කියලත්…
ජනිත්: නෑ බං… මටත් පුතෙක් හම්බුණා…එයත් එයාගෙ “බාප්පා” වගේමයි…
නිමි.
*ජනිත්ට ලැබුණු දරුවාද ඔහුගේ මල්ලී වගේම ආබාධිත දරුවෙක් යන්න අදහසයි.
උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය