සහෝදරත්වයේ රුහිරු සම්මානය

මිනිස් ජීවය පවතින්නට ඔක්සිජන් වගේම අත්‍යවශ්‍යම දෙයක් විදියට රුධිරය එහෙම නැත්නම් ‘ලේ’ හඳුන්වන්නට පුලුවන්. ලේ හිඟකමත්, හදිසි සැත්කම් අවස්ථාවලදීත්, හදිසි රුධිරය ලබාදෙන අවස්ථාවලදීත් නියමිත ප්‍රමාණයට, රෝගියාට ගැලපෙන රුධිර වර්ගය  නොමැති වීම නිසා නිකරුණේ මිනිස් ජීවිත නැතිවන අවස්ථා අපි ඕනෑ තරම් අසා ඇති. මෙවැනි අත්‍යවශ්‍ය අවස්ථාවලදී රුධිරය සපයා ගැනීමේ ක්‍රමවේදයක් විදියට ලංකාවේ විවිධ ප්‍රදේශවල ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කරන අතර මේ සඳහා ලංකාවේ රුධිර පාරවිලයන සේවය මූලිකත්වය ගනු ලබනවා. දේශයේ පුරවැසියන් නඟා සිටුවීම සඳහා නිරතුරුවම අතහිත දෙන බ්‍රැන්ඩික්ස් අපි, වසර ගණනාවක සිට මේ ලේ දන්දීමේ මහඟු පින්කම සඳහා සම්බන්ධ වී කටයුතු කරනවා.

 මේ වසරේදීත්  ලංකාවේ වැඩිම රුධිර පරිත්‍යාග කරන පෞද්ගලික ආයතනය විදියට 12 වන වරටත් රාජ්‍ය ඇගයීමට ලක්වන්නට හැකිවූයේ බ්‍රැන්ඩික්ස් අපගේ සහෝදර සහෝදරියන්ගේ උනන්දුවත් කැපවීමත් නිසාම බව මහත් අභිමානයෙන් ප්‍රකාශ කරන්නෙමු. ‘ළය පුබුදන ලෙය’ යනුවෙන් අපගේ බ්‍රැන්ඩික්ස් ආයතන අතර ක්‍රියාත්මක කළ මේ මහඟු උදාරතර වැඩසටහන ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කරන්නටත්, ලේ දන්දීම සඳහා හැකියාව සහ කැමැත්ත ඇති බොහෝ දෙනෙකුට ඒ උදාර අවස්ථාව හිමි කර දෙන්නටත් පුලුවන් වුණා. ඉතින් මේ සියලු ආයතන අතරින් රඹුක්කන බ්‍රැන්ඩික්ස් ආයතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ලේ පරිත්‍යාග සඳහා සම්බන්ධ වූ ආයතනය විදියටත්, අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් ආයතනය මේ දක්වා සෑම වසරකම නිරතුරුවම ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කළ ආයතනය ලෙසත් සම්මාන ලබා ගැනීම බ්‍රැන්ඩික්ස් අපට ඉමහත් ආඩම්බරයක්.

 නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු මේ අති උත්කර්ෂවත් සම්මාන උළෙල, පිබිදෙන දැයක් වෙනුවෙන් අතහිත දෙන්නට නිරතුරුවම සූදානමින් සිටින අපට ඉදිරියටත් මෙවැනි උදාරතර වැඩසටහන් සංවිධානය කරන්නට සුවිශාල පන්නරයක්. සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු අමාත්‍යංශ ප්‍රධානීන් වගේම ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂක තුමා ඇතුලු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු මේ සම්මාන උළෙල, බ්‍රැන්ඩික්ස් අපගේ සියලු සාමාජික සාමාජිකාවන්ගේ කැපකිරීමටත්, සහයෝගයටත් ලබාදුන්නා වූ ගෞරවයක් ලෙස සතුටින් ප්‍රකාශ කරමු. දැයේ ජනතාව වෙනුවෙන් ඉදිරියටත් මෙවැනි වටිනා වැඩසටහන් සංවිධානය කරන්නට බ්‍රැන්ඩික්ස් අපි නිරතුරුවම සැදී පැහැදී සිටින්නෙමු.