ගෑනු අපි ඇත්තටම නිදිකුම්බා වැල් වගේ

අනේ නෝනේ අසනීප දරුවට
බෙහෙතක් හේතක් කරනවා වෙනුවට
ඔය තරම් රැවුම් ගෙරවුම් දරාගෙන ඉන්නට
අම්මෙක් වුණේ මං මගේ පෙර පවකට

ඔව් ඇත්තටම දැන් මට හුඟක් වයසයි
හිස කෙසුත් පැහිලා ගිය මට මේවා අකැපයි
හොඳ නරක තේරුණත් ගෑනු අපි අසරණයි
බේබද්දෝ වුණ පිරිමි, නමට උන් තාත්තයි

හැමදාම මහ රෑට ගෙදර ලොකු යුද්ධයක්
මම උගෙන් බේරෙන්නේ එහෙමත්ම දවසක්
උඹ මගේ අඹුව බව කිය කියා වරුවක්
කරපු පව තේරුණා ගත වෙද්දි තෙමසක්

ලොකු කෙල්ල කැම්පස් අන්තිම වසරේ
අනේ මිස් දරු දුකට නොවෑ කිරි එරුණේ
දැන දැනත් පුතෙක් බව මරන්න ද කලලේ
එහෙම පව් විඳවන්න බෑ මිනිස් සසරේ

තැනක් නොතැනක් නැතිව වපර ඇස් අඳ වගේ
මට මාව නැති කරන කතන්දර මිනිහගේ
හැමදේම දරාගෙන හිටියත් ගල වගේ
ගෑනු අපි ඇත්තටම නිදිකුම්බා වැල් වගේ

ප්‍රශ්න පිට කන වේල බඩට වැටුණා මිසක්
බොන බෙහෙත්වල සැරට වුණා තන් දෙක ගලක්
දරාගෙන හැමදේම විඳගත්ත මම මිසක්
නෝනලා දන්නව ද ඒ වෙච්ච කිසි දෙයක්

කිසි දෙයක් දන්නැතිව එපා මට බනින්න
වෙච්ච දේ වුණා දැන් පුළුවන් ද හැරෙන්න
දෙයියන්ගේ නාමයෙන් දරුවා ගැන බලන්න
මගේ පණ අරං හරි කිරි කැටියා රකින්න

නිෂා මදුරංගි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook