ආලයේ මතකයන්

තුරු මුදුන් සිප ගන්න අහස සේ ළං වෙවී
කඳු මුදුන් මත හෙළන වැස්ස සේ අරුමැසී
නින්ද නොදැනෙන නෙතට හොර රහසේ පෙම්බැඳී
එකම ප්‍රේමය නුඹයි හද පුරා නිම් නැතී

සියුම් තැන් සොය සොයා හොර රහසේ කිතිකැවී
සෝ තැවුල් රස නහර මතු මත්තෙ නැහි නැහී
රාගයක පැටලෙමින් ආලයෙන් උන් හැටී
මතක එකිනෙක හඬයි රතු රෝස කටු ඇනී

තහනම්ම ගස්වලයි පල හුඟක් රස ඇතී
අහිමි වුණ තැන්වලයි ආලෙ තිබුණේ පිරී
ටජ්මහල් තැනුවාට ආලේ නාමෙන් වෙළී
ප්‍රමිලා දස්කොන් මැරුව ආලේ ඇයි බිය වැඩී

අහිමි වෙනවට බයේ තව තවත් වෙළි වෙළී
රාගේ අස්සේ වුණත් අපේ ආලේ මල් පිපී
ගෙව්ව කාලය වුණත් මතක ඇති රස පිරී
මං නුඹට නුඹ මටම පෙම් කෙරුව දුර වැඩී

සුරංජි ඩී. මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook