අහස කළු වුණ දාට ආයේ වැස්ස එයි කියලාම හිතුණා
ඒත් සුළඟක් ඇවිත් ආයේම වැස්ස එක්කම දුරට ඇදුණා
පාට දේදුනු හැඩට අරගෙන අහස තනියම පාළු මැකුවා
ආයේ දවසක ළඟම ඒවී පතොක් ආයෙත් වැස්ස පැතුවා
නියන් සාරෙට පොළොව පැළිලා ඒත් වැස්සට ආයු පැතුවා
එන්නේ නෑමයි කියපු දවසෙත් ආයේ ඒවී හිතින් හිතුණා
පින්න ඉහ ඉහ ඉරි තැළුණු හිත අහස හෙමිහිට හදලා තිබුණා
දිනක ඇවිදින් ගමම යටකර මහ වැස්සක් ඇද වැටී තිබුණා
එහෙව් දවසක අකුණු ගස ගස අහස මහ හයියෙන්ම හැඬුවා
වැස්ස නිම වී ගියත් ආපිට අහස තවමත් අකුණු ගැසුවා
පුපුර පුපුරා වේදනා හද මහ අහස ඒ ගින්න දැරුවා
ඉරක් අරගෙන අහස විගහින් හදේ ඉපදුණු ප්‍රේම මැරුවා
සුරංජි ඩී. මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය