දන්සල

දනට පිනට දීම ඉතාමත් උතුම් කටයුත්තක් බව බොහෝ ආගම්වල සඳහන් වී තිබෙනවා. ඒ කෙසේ වෙතත් බෞද්ධ දර්ශනය තුළ අනෙක් ආගමවලට සාපේෂව දන් දීම පිළිබඳව සඳහන් වෙනවා.

දනට පිනට දීම තුළින් තෘෂ්ණාව නැතිවී යන බවත්, ඒ තුළින් ශෝකය හට නොගන්නා බවත් බුදු දහම තුළ සඳහන් වෙනවා.

තිරිසන් සතෙකුට දෙන දානයේ කුසල විපාකය එක් ආකාරයකටත්, මනුෂ්‍යයෙකුට ලබා දෙන දානය එක ආකාරයකටත් විපාක දෙනවා. ඒ විතරක් නෙවෙයි, ධර්මානුකූලව ජීවත්වෙන, ආර්ය මාර්ගයේ ගමන් කරන සැදැහැතියන්ට දෙන දානය තුළින් කුසල උපදවාගත හැකි බවත් සඳහන් වෙනවා. එමෙන්ම ආර්ය මහා සංඝයාට ලබා දෙන දානයත්, බුදු කෙනෙකුට ලබා දෙන දානයත් මහත් ඵල මහානිසංස ලැබෙන්නක් බවයි ධර්මය තුළ සඳහන් වන්නේ.

අපේ රටේ ආහාර වියදම දෙගුණයකින් හෝ තුන් ගුණයකින් වැඩිවී තිබෙන බව අපි දන්නවා. එවැනි අවස්ථාවක වුණත් විශාල පිරිසකට කන්න බොන්න දන්සලක් සංවිධානය කරනවා කියන්නේ, මහඟු කුසල කර්මයක්, පුණ්‍ය කටයුත්තක්.

සමාජ මාධ්‍යයේ නිරාගමික විවේචන තිබුණට මේ දන්සල් සංස්කෘතිය ආරම්භ වන්නට හේතු වෙන්නේ බෞද්ධාගමික පසුබිම. වෙනත් කිසිම රටක මේ ආකාරයේ දන්සල් සංවිධානය වෙන්නේ නම් නෑ. බොහෝ දන්සල් සංවිධානය වෙන්නේ වෙසක් පුන් පොහෝ දිනය සහ පොසොන් පොහෝ දිනය මූලික කරගෙනයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල විශේෂයෙන්ම වෙසක් පොහෝ දින නිමිත්තෙන් දන්සල් රාශියක් සංවිධානය වෙනවා. නමුත් අනුරාධපුර, පොලොන්නරුව ආශ්‍රිත ග්‍රාමීය ප්‍රදේශවල දන්සල් බොහෝමයක් සංවිධානය වන්නේ පොසොන් පොහොය මුල් කරගෙනයි. පොසොන් පොහොය වෙනුවෙන් පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ට සුවසේ අටමස්ථානය වන්දනා කරගන්න, උයන්න පිහන්න යන කාලය ඉතිරි කරගන්න දන්සල ලොකු අස්වැසිල්ලක්.

බත්, බීම, කිරිබත්, රස කැවිලි, බෙලිමල්, කැඳ දන්සල් බොහෝමයක් සංවිධානය වෙනවා. දන්සලුත් කාලයත් එක්ක යාවත්කාලීන වෙලා තියෙන්නේ. ඩේටා දන්සල්, කොණ්ඩ කපන දන්සල් වගේම රෙදි පිළි දන්සලුත් මෑත කාලයේ සංවිධානය වෙනවා. අල්හාජ් මොහිදින් බෙග් මහතාගේ ලස්සන බෞද්ධ ගීත පසුබිමෙන් ඇහෙද්දී දන්සලකට ගොඩ වෙනවා කියන්නේ, ඒක අමුතුම ෆීලීන් එකක්.

ලංකාවේ විතරක් නෙවෙයි, පිටරටවලත් දන්සල් සංවිධානය වෙනවා. ඒවායේත් මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ ශ්‍රී ලාංකිකයන්ම තමයි.

දන්සලට කිසිම පංති භේදයක් නෑ. සුඛෝපභෝගී වාහනවලින් ගමන් ගන්න අය වගේම ෆුට් සයිකල් එකෙන් යන අයත් දන්සලට සහභාගි වීමේ සතුට භුක්ති විඳිනවා.

රංගන වඩුගේ

Facebook
Facebook