බැල්ලක් උසාවියට

කික්කි මං දුඹුරු යැයි ලියා ගන්න
ජාතකය ඕනද නොහැක එය කියන්න
වාසයක් නැත හිතුනු විටකදි ලගින්න
පොරකෑව විතරයි කොහෙද මොහොතක් නිවෙන්න

මල්ලිලා අරන් ගියෙ පිරිමි හින්දා හදා ගන්න
නැහැ උන්නෙ කවුරුත් ගැහැණු හින්දා මා බලා ගන්න
පුංචි හිතකට බැරි ම වූවත් ඉතින් මේවා දරා ගන්න
කොහෙද පපුවක් ඉතිරි වූයේ ඉතින් මෙමටත් පලා ගන්න

පොර කකා කෙල හලන් සනුහරේ පෝලිමේ
දිව්ව ඇති තරම් ඒත් නැහැ මා බේරුනේ
නටුවෙ නොව පෙති වලත් කටු පීදුනේ
සිනිදු නැත රිදුම් විතරයි ඇති උනේ

වීදි බැල්ලකට ආදරය කොයින්ද
අහෝ දෙවියනි මැව්වෙ නුඹ නෙතු පියන්ද
වින්ද වේදනා කටක් ඇර කෙලෙසක කියන්ද
මිනිස් ගුණ ධම් මෙකලදි හුග ගණන්ද

ලබ්බකට වැහිලා කුසේ පුහුලක් හට ගනිද්දී
පොරකාපු ඈයොත් සැඟවෙලාම යද්දී
කඩ පිලක පිටුපස මා මවක් වෙද්දී
හුගක් වූවා අමතක නොවන ඇබැද්දී

තරහ අවසර ස්වාමීනී

එකින් එක පොඩිකර මල් ගසක කිනිතී
රෝද හතරක් ගිය පසුත් ඉන් නොනැවතී
මහ පොතක් පෙරලන් ඔය බැලුව දැන් ඇතී
විනිසුරෝ කියාපන් නැද්ද බල්ලන්ට නීතී

තිවංක ශ්‍රීමාල් දිසානායක
බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය

Facebook
Facebook