මුවට එළියක් ගෙනෙන විදියක් වල්ගා තරුවක් බලා උන්නා

හවස් යාමේ පෙනෙන ලා සඳ
මුහුදු තීරෙන් ගිලෙන හිරු දැක
මවාගත් මහ උජාරුවකින්
මෝදු වෙන හැටි හෙමින් සීරුවෙ
සිකුරු තරුවත් බලා උන්නා…

වටපිටාවම අන්ධකාරෙන්
ගිලෙනකොට මහ මුහුද විතරක්
හෝ ගගා නවතින්නෙ නැතිවම
රැල්ල වෙරලට හාදු දුන්නා
සිකුරු තරුවත් බලා උන්නා…

ඈත දියඹේ ක්සිතිජ කෙළවර
පුංචි ඔරුවක් පෙනී නොපෙනී
ගොඩබිමක සේයාව දැකලා
සිනාසෙන තනි මිනිසෙකුව දෙස
සිකුරු තරුවත් බලා උන්නා…

වෙරළ අයිනේ වැලි තලාවක
දුටු දසුන් සිතුවමක අඳිනා
පුංචි පොල් අතු පැලක තනි වූ
පුතෙකුගේ දිලිසෙනා මුව දෙස
සිකුරු තරුවත් බලා උන්නා…

ඈත දවසක මුහුද ඇවිදින්
අරන් ගිය අම්මා තාත්තා
ආයෙ ඒවිද හිතන පුතුගේ
මුවට එළියක් ගෙනෙන විදියක්
වල්ගා තරුවක් බලා උන්නා…

දුකක් මකලා සතුට දෙන්නට
සුභම සුභ ප්‍රාර්ථනා පතමින්
දෙපාරක්වත් නොහිතා වෙන්නැති
දැවි දැවී සියොළඟම ගිනිගත්
වල්ගා තරුවක් කඩා වැටුනා…

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook