කවියෙකුට විතරමයි පුළුවන්...

ගැඹුරු හුස්මක කිමිදි කිමිදී සෝ තැවුල් මග හරින්න..
කිකිණි සිනහව හද පුරෝගෙන සැනසුමේ සුව විඳින්න…
නටු අගින් ගිලිහිලා වැටුනත් පුරුදු ප්‍රේමය පුදන්න…
සම කරන්නට හැකිද කවුරුන් මලට කවියෙකු හැරෙන්න…

ආකහේ සීමාවෙ එපිටින් ලෝකයක් සිහි මවන්න…
සයුරු පතුලට එහා ගැඹුරක ජීවයක් ඇති සිතන්න…
තුරු ලතාවන් සුළඟෙ හැපි හැපි මිමිණු රහසක රැඳෙන්න…
මනෝ ලෝකෙක සුවය දෙන්නේ කවුද කවියෙකු හැරෙන්න…

ප්‍රේමයට වැඩි විරහවක් නම් කඳුළකින් පිට කරන්න
අහිමි වීමම නියත කරුණකි කියා හිත සනසවන්න
දැනුණු හිත් වල ස්නේහ මල් දම් ගොත ගොතා පළඳවන්න
කවියෙකුට මිස කිසිවෙකුට බැහැ උරහිසක ඉඩ තියන්න

කිසිවෙකුට නොකියනා ලෙස කී රහස් රහසෙම රකින්න
අවැසි මොහොතක වේදනාවන් අසා දුක සංසිඳන්න
පැල්ලමක්වත් ලේ හැලුන් නැති මැරුණු හිත් පුබුදුවන්න
කවියෙකුට විතරමයි පුළුවන් මැරි මැරී කවි ලියන්න

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook