අම්මා

දසමාසයක් මා, කුස තුළ නුඹ දරලා
රතු ලේ සුදු කිරට හරවා මට පොවලා
ජීවිත ගමන දරුවන් වෙනුවෙන් පුදලා
මෑණිය අපගෙ නිවසේ දෙවඟන වීලා

ජීවිත ගමනෙ කොතරම් බාධක ආවත්
නොසැලී මුහුණ දුන්නා නුඹ හැමදාමත්
පවුලේ සැමට දෙවි රැකවරණය පැතුවත්
ප්‍රජාපතී මගෙ අම්මා හැමදාමත්

ආදර පුතේ මුළු ලෝකය අද දියුණුයි
තාක්ෂණය මැනවින් දියුණුවක් තියෙයි
යහගුණ දහම දින දින පිරිහීම ලබයි
ඒ ලොව මැද්දෙ නුඹ හොඳ කෙනෙකුන්ම වෙතෙයි

මගේ දුකේදී ළඟ සිටි සුදු අම්මා
මගේ සතුටෙදී සතුටින් හැඬු අම්මා
ගුණ දහමින් මට ඔවදන් දුන් අම්මා
දරුවන් නිසා ජීවිතයම පිදු අම්මා

පෙර කළ පිනෙන් මව් පදවිය උරුම වුවා
ඒ පදවියෙන් මුළු ලෝකය එළිය වුවා
පෙර පින නිසා නුඹ මා හට හමු වූවා
මතු සංසාරෙ මගෙ අම්මා බුදු වේවා

ඩී. එස්. සඳමාලි
බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය

Facebook
Facebook